Saturday, December 9, 2017

ඇලිසන් ස්ටෝකී (Allison Rebecca Stokke)

කව්ද ප්‍රසිද්දියට අකමැති. ඔව් බහුතරයක් කුමන හෝ අයුරකින් ප්‍රසිද්ධියක් ලබා ගන්නට කැමතියි.එය විඳින්න කැමතියි. අපි කරන පොඩි දෙයකින් හරි දෙතුන් දෙනෙකුගේ ආකර්ශනය, ඇල්මක් බැල්මක් ලබා ගැනීම අති විශාල බහුතරයකගේ නොසිදෙන ආශාවක්. මේ ලෝකයේ මිනිසා උත්පත්තිය ලැබූ දා සිටම මේ තත්වය සාමාන්‍ය දෙයක්. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා, පාරාවෝ රජවරු, ලෝක නායකයන් එහෙමත් නැත්නං සාමාන්‍ය මිනිස්සු පවා කුමන හෝ අයුරකින් ප්‍රසිද්ධියට පත් වෙන්න කැමතියි.

දැං කාලේ නං ඔය හිටී ගමන් එක එක විදියේ ප්‍රසිද්ධ වීම් වෙනවා නේ. ලංකාවේ ඉන්න එක එක ජාතියේ තරු එක දිගටම “ලීක්“ කරගන්න ගත්තම අපිට තමා මඟුල්. ඇයි ඉතිං සතියකට සැරයක් වත් මොකක් හරි “ලීක්“ වෙච්චි එකක් බලන්න ලැබෙන එක කොයි තරං දෙයක්ද?

සනත් ජයසූරිය ලොක්කා ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් වල විශේෂයෙන්ම ඉන්දියාව ඇතුලු ක්‍රිකට් ගහන රටවල් වල මිනිස්සු අතර කොයි තරං ජනප්‍රියද? ලංකාවේ උනත් ජයසූරිය කිව්වම නොදන්න හාල්පාරුවෝ ඉන්නේ කීයෙන් කී දෙනාද? නැද්ද මං අහන්නේ. අන්න ඒ හාල්පාරුවොත් ජයසූරිය කව්ද කියල මේ ඉවර වෙන්න යන අවුරුද්දෙදි දැනගත්තා කියල කිව්වොත් ඔහේල එකඟ නොවී ඉන්න එපා. ජයසූරිය “ලීක්“ කරගත්තම මිනිහව නොදන්න කට්ටියක් ජයසූරියව දැනගත්තා. ජයසූරියට පස්සේ හොද එකෙන්ම ලීක් කරගත්ත කෙනෙක් තමා හෂිනි ගෝනගල. ඒක නං නාන සයිස් එකටම. මං උනත් ඇත්තටම දැනං උන්නේ නෑ හෂිනි ගෝනගල කියන්නෙ කව්ද කියලා. හැබැයි මේ සිද්ධිය නිසා දැනගත්තා එයා නිළියෙක්ය කියන එක. මං වගේ කොයි තරං ප්‍රමාණයක් හෂිනි ගෝනගල කව්ද කියල හොයල බලල දැනකියාගත්තද කියලවත් ඔය බුකි ඔස්තාර් නෝනල මහත්තුරුන්ට ගානක් මිම්මක් ඇතිය කියල මං හිතන්නේ නෑ. හැබැයි කවදාවත් නොදැන හිටිය හෂි කව්ද කියන එක දාස් ගානක් නැත්නං ලක්ෂ ගානක් දැනගන්න ඇතිය කියල මම නං සහසුද්දෙන්ම දන්නවා.

දැං එතකොට හෂීනි ගෝනගල ලංකාවේ ප්‍රසිද්ධ උනේ එයා ප්‍රසිද්ධ වෙන්න ඕන විදියටද? නිළියෙක් විදියට ලංකාවේ ජනප්‍රිය වෙන්න ඕන කෙනෙක් අදාළ නොවන හේතුවක් නිසා එක රැයෙන් ප්‍රසිද්ධ වෙනවා. මේ හේතුව නිසා අන්තර්ජාලයේ රැල්ලක් වෙමින් පැතිරෙමින් හෂිනි, පිරිමින්ගේ ආදරයට ගෞරවයට හුහ්. නෑ නෑ පිරිමින්ගේ චෛතසික ලිංගික ආසාවන් පිනවන සංකේතයක් බවට පත් උනා. මේ වගේ යමක් අන්තර්ජාලයේ බලවත් ලෙස පැතිරෙනවට අපි සිංහලෙන් කියන්නේ viral sensation කියලයි. හෂිනි වගේ පිරිමින්ගේ ආදරය දිනාගන්නවට සිංහලෙන් කියන්නේ sex symbol එකක් වෙනවා කියලයි.

මට අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. හෂිනිට ප්‍රසිද්ධිය ලැබුනේ එයාට ඒක ලැබෙන්න ඕන විදියට නැත්නං අදාළ විදියටද? මම නං කියන්නේ නෑ කියලයි. හැබැයි ඔය වැල බ්ලොග් සයිට් වලනං තිබ්බා ඒ වීඩියෝ ලීක් කරේ එයාමය කියලා. ඒවා අපි දන්නෑ. කෝම උනත් හෂිනිට ජනප්‍රියත්වය ලැබුනේ එහෙම නැත්නං ලංකාවේ පිරිමින්ගේ ලිංගික සංකේතයක් බවට එයාව පත් උනේ එයාට අදාළ නොවන විදියකට නං නෙමෙයි. මොකද හෂිනි උවමනාවෙන්ම නිරුවත් වීම එහිදි සිද්ධ වෙලා තියෙනවා. මෙතනදි වැරැද්ද උනේ වීඩියෝ ලීක් වීම නිසයි.

හැබැයි එහෙම තුන් හිතකවත් අදහසක්, කිසිම සාධකයක් නැතිවත් හිතාගන්න බැරි විදියට ලෝකය පුරාම පිරිමින්ගේ කාමුකත්වයේ දේවාලයේ සෙක්ස් සිම්බල් එකක් වෙන්න සිද්ධ වෙච්චි පුංචි කෙල්ලෙක් ගැන මං අද කියන්න යන්නේ. මේ කතාව එවැනි අනවශ්‍ය කාරණා නිසා ප්‍රසිද්ධිය ලැබ එය දරාගැනීමට ශක්තියක් නොමැති අයට හොඳ උදාහරණයක් සහ මඟ පෙන්වීමක් වේවි.

ඇලිසන් ස්ටොකි.. (Allison Stokke) ගැනයි මං අද කියන්න යන්නේ.

අවුරුදු දාහතක ඉස්කෝලේ යන කෙල්ලෙක් කාලෙදිම ක්‍රීඩා පිටියෙදි I repeat ක්‍රීඩා පිටියෙදි මුහුණ දෙන්න වෙච්චි මංඤ්ඤං සිදු වීමක් නිසා ලෝකය පුරාම අනවශ්‍ය කාරණයක් වෙනුවෙන් පිරිමින්ගෙ දේවාලේ බිත්ති වල ලගින්න ඇයට සිද්ධ උනා. අපි කතාව පටන් ගමු.

කව්ද මේ ඇලිසන් කියන්නේ. එයා මොනවද කරන්නේ?

ඇලිසන් ගේ සම්පුර්ණ නම ඇලිසන් රෙබෙකා ස්ටොකි. ඇලිසන් උපන්නේ 1989 මාර්තු 22 දින ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තයේදීයි. ඇයගේ පියා ඇලන් ස්ටොකි.. නීතිඥයෙක්. අම්මා සින්ඩි ස්ටොකි. ඇලිසන්ගේ අයියා ජිම්නාස්ටික් ක්‍රීඩාවට සම්බන්ධ වෙච්චි නිසා ඇලිසන් ඉස්කෝලේ කාලෙදිම අයියත් එක්ක ක්‍රීඩා කටයුතු වල නිරත වෙන්න ගත්තා. හැබැයි මේ ජිම්නාස්ටික් සෙල්ලම එයාට හරියන්නේ නැති නිසා ඇලිසන් වෙනත් ක්‍රීඩාවක් තෝරගත්තා. ඇලිසන් තෝරගත්තේ රිටි පැනීමේ ක්‍රීඩාව. ඇයට රිටි පැනීමේ ක්‍රීඩාව ස්වභාවයෙන්ම පිහිටි තිබූ අාකාරයට ඇය ඒ ක්‍රීඩාවට නැඹුරු උනා විතරක් නෙමෙයි ඊට ආසක්ත වෙන්න ගත්තා.

රිටි පැනීම ගැන කෙටියෙන්

දන්නවා නේද රිටි පැනීම. ලංකාවෙත් තියෙනවා. හැබැයි කියන්න කනගාටුයි ලෝකයේ කොතනකවත් රිටි පැනීමේ ක්‍රීඩාව අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් නෙමෙයි. ලංකාවෙත් මේ දවස් වල රිටි පැනීමේ ශූරියක් ඉන්නවා ජනිතා ජෙගතීශ්වරන් කියලා. ඇය යාපනයේ පදිංචිකාරියක්. සැප්තැම්බර් මාසේ තිබුන යොවුන් මලළ ක්‍රීඩා උළෙලෙදි ඇය විසින්ම කලින් පිහිටුවා තිබු ජාතික වාර්තාව මීටර් 3.47 ක් ලෙස අලුත් කරන්නට ඇය සමත් වී තිබුනා. ලංකාවේ රිිටි පැනීමේ ඉසව් ගැන කියද්දී අමතක කරන්න බැරිම පුද්ගලයා තමා ආතර් ක්ලීටස් ඩෙෆ්. කෙටියෙන් නං ඒසී ඩෙෆ්. තවත් පහසු කරනවනං ලංකාවේ වත්මත් අග්‍රවිනිශ්චයකාර ප්‍රියසත් ඩෙෆ් මහතාගේ පියා. ඔහු හැට හැත්තැව කාලේ ලංකාවේ හිටිය රිටි පැනීමේ ශුරයා. ඒසී ඩෙෆ් ගේ නමට තිබූ රිටි පැනීමේ වාර්තාව අලුත් කිරීමේ අලුත්ම ආරංචිය අපට අරන් ආවේ පසුගිය කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙළදියි. එහිදි එම් එච් අයි සඳරුවන් ක්‍රීඩකයා මීටර් 5.11 ක උසක් පනිමින් ලංකාවේ රිටි පැනීමේ වාර්තාව අලුත් කරා.


ඇලිසන් රිටි පනියි.

රිටි පැනීමේ ඉසව්ව පිළිබඳ ආසාවක් සහ උවමනාවක් තිබු පුංචි ඇලිසන් අවුරුදු 15 දී ඇමරිකාවේම රිටි පැනීමේ කනිෂ්ඨ ශුරිය වෙනවා. අඩි දොළහමාරක උසක් පනිමින් ඇය ජාතික වාර්තාවක් පිහිටුවන්න සමත් වෙනවා. ඔය විදියට ආරම්භ උන ඇලිසන්ගේ රිටි පැනීම ඇයගේ වයසේ අයෙකුට එහා ගිය දක්ෂතාවයක් විදියටයි පිළිගන්නේ. ඇයි විසින් පිහිටුවා තිබු වාර්තාව අඩි දොළහයි අගල් 8 ක් ලෙස අලුත් කරන්නට 2004 දී ඇයට හැකි වෙනවා. ඇය ඉතා ශක්තිමත් සහ ක්‍රිඩාව කෙරෙහි ඒකාත්මික වෙමින් තව තවත් ශක්තිමත් වෙමින් ඉදිරියට යමින් සිටියා. 2005 අවුරුද්දෙදි වයස දාහතක් වූ ක්‍රීඩිකාවකට කල නොහැකි යැයි සිතූ අය පුදුමයට පත් කරමින් අඩි 13 අගල් පහයි තුන්කාලක් උස පනිමින් ඇය විසින්ම තබා තිබු වාර්තාව අලුත් කරන්නට මේ විස්මිත හැකියාවෙන් හෙමි දියණියට හැකි වෙනවා. මේ වගේ දක්ෂතාවයක් දැක්වූ කෙනෙක් අනිවාර්යයෙන්ම ඔලිම්පික් පදක්කමක මට්ටමට ලගා වෙතැයි බොහෝ ක්‍රීඩා විචාරකයන් පවා අපේක්ෂා කරන දෙයක්. 2005 වර්ෂය වෙද්දි ඇලිසන් ඇත්තෙන්ම ශක්තිමත් සහ ක්‍රීඩාව කෙරෙහිම සිත යොමු කල අයෙක්. ඒ කාලය තුල ඇලිසන් පිහිටුවා තිබු ජාතික වාර්තා ගණන පහක්. මේ වාර්තා හේතුවෙන් ඇයගේ ක්‍රීඩා දක්ෂතාවය මුළු රටේම ඇයගේ සම වයසේ ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් අභිබවා යන දක්ෂතාවයක් බවත් කියන්න පුලුවන්.

අන්තිමට කියල තියෙන වාර්තාව මීටර් වලින් ගත්තොත් මීටර් 4.11 ඉක්මවා යනවා. ජනීතා විසින් ලංකාවේ ජාතික රිටි පැනීමේ වාර්තාව මීටර් 3.47 ක් විදියට මේ වසරේ යොවුන් ක්‍රීඩා උළෙලෙදි අලුත් කිරීමත් එක්ක සලකා බැලුවම ඇලිසන්ගේ දක්ෂතාවය කුමක්ද යන්න ඔබට දකින්න පුලුවන්.

පාසැල් කාලය නිමා කරන්නට අවුරුද්දක් තියෙද්දිම ඇලිසන් මුලු ඇමරිකාවේම කතා වෙන ක්‍රීඩා තරුවක්. ඇය ගැන ජාතික තලයේ පුවත්පත් වල පවා වාර්තා පල උනා. නැවත නැවතත් වාර්තා තබමින් ඇලිසන් විසින් රිටි පැනීමේ ක්‍රීඩාවේදි දක්වන දක්ෂතා එන්න එන්නම ඔපමට්ටම් වෙන්න ගත්තා. ඇය විසින් පිහිටුවා තිබූ වාර්තාව නැවතත් එම වසරේදිම අඩි දහතුනයි අගල් හයයි තුන්කාලක් ලෙස අලුත් කරන්නට ඇයට හැකි වෙනවා. මේ ආකාරයේ රිටි පැනීමේ ජාතික (කනිෂ්ට) වාර්තා බිදහෙලීමත් පාසැල් ක්‍රීඩිකාවක විසින් සිදු කලාය යන්න බහුතරයක් ඇමරිකානුවන්ට පවා පුදුමයක්. බොහෝ තැන් වල කතා උනේ ඇලිසන් ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යාවි කියලයි.

එක් ඡායාරූපයක් - ලෝක ප්‍රසිද්ධියක්

2007 දී වයස 17් වූ අැලිසන් පාසැල් තරඟයක් අතරතුර රිටි පැනීම සඳහා තම වාරය එනතුරු බලා සිටින අයුරු දුටු එක් ඡායාරූප ශිල්පියෙකු ඇයගේ ඡායාරූපයක් ගෙන එම ඡායාරූපය අන්තර්ජාලයට එක් කර තිබුනා. මෙම ඡායාරූපය දුටු එක් වලත්ත බ්ලොග් රචකයෙකු එම පින්තූරය සඳහා අශ්ශීල උදෘතයක් යොදා ඔහුගේ බ්ලොගයේ පළ කළ විට එය දුටු ඔහුගේ පිටකසන මුග්ධ ලිිංගික අහේනියෙන් පෙලෙනා කියවන්නන්ද (අපේ නං පිටකසන්නන්) එම ඡායාරූපය සඳහා විවිධ අර්ථකතන දෙමින් නැවත නැවත ෂෙයා කර තිබුනා. මෙම ඡායාරූපය ලැව්ගින්නක් මෙන් ඇමරිකාව තුල අන්තර්ජාලයේ හුවමාරු වී පසුව මුලු ලෝකය පුරාම ඉතා වේගයෙන් පැතිර යන්න උනා. මේ කිසිත් නොදන්න ඇලිසන් තමන්ගේ රිටි පැනීමේ ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියා.

මේ ඡායාරූපය පලකර තිබුනේ ක්‍රීඩාව සම්බන්ධ විනෝදජනක දේ, අසභ්‍ය දේවල්, ගොසිප් පල කරනු ලබන බ්ලොග් අඩවියකයි. අඩවියේ මෝඩ රචකයා වයස 17 ක් වූ දැරියකගේ පින්තූරයක් දැක ආහ්ලාදයට පත්ව, තම රතිය ඇවිස්සී එවැනිම මානසික අසහනකාරයන් සඳහා මේ පින්තුරය පල කර තිබු අයුරු දුටු විට ඡායාරූපය ගත් ඡායාරූප ශිල්පියා එම පින්තුරය ඉවත් කරන්නැයි මුග්ධයාට කොපමණ බලපෑම් කලද ඒවා සාර්ථක නොවීය.

එම ඡායාරූපය පල කර තිබුනේ ඉතා අශ්ශීල ග්‍රාම්‍ය යෙදුමක් වන Hubba hubba ලෙස සටහන් කරමිනි. යමෙකු කෙරෙහි තම සිතෙහි බලපවත්වන අසීමිත ලිංගික ආසාව පිළිබඳව ප්‍රකාශ කිරීම මෙයින් අදහස් කෙරේ. වයස දහහතක් වූ පාසැල් දැරියක එසේත් නැතිනම් ක්‍රීඩාවක යෙදී සිටින පාසැල් ක්‍රීඩිකාවකගේ ක්‍රීඩා ඇදුම් අතරින් තම පහත් ලිංගික ආසාවන් දැකිය හැක්කේ නරුමයෙකුට එසේත් නැතිනම් පහත් ලිංගික ආසාවන් ඇත්තෙකුට පමණක් බව මගේ හැගීමයි. ඒ අනුව එම ඡායාරූපය දැක “සුපිරි ලස්සනයි“ කිවු අයට එහා ගොස් “පට්ට බඩුව“, “ගහන්න නියමයි“ ආදි වශයෙන් සිතූ සියළු දෙනා සහ ඉදිරියට එසේ සිතනා අයද මුග්ධයන්, පහත් ලිංගික ආසාවන්ගෙන් යුක්ත වූවන් බව කීමටද මැලි නොවෙමි.

මෙන්න පින්තූරය


ඉතිං මෙම ඡායාරුපයෙන් සුරුපි බවට එහා ඇති තම සිතේ පවතින ලිංගික ආසාවන් දකින්නෝ මුග්ධයෝම වන්නාහුය.

පින්තූරයට පසු ඇලිසන්

මෙම ඡායාරූපය පලවූ වහාම එහි කිසිදු විශේෂත්වයක් නොදුටුවද ඉහත සඳහන් කල බ්ලොගයේ අශ්ශිල උදෘතයත් සමඟ එවැනිම වූ ඇස් වලින් ඡායාරූපය දෙස බැලීමට පෙළඹීම මත එය තටු ලබා පියාඹන්නට ගෙයක් ගෙයක් ගානේ තටු සලන්නට විය. පාලනය කල නොහැකි වේගයෙන් අන්තර්ජාලය පුරා ගමන් කල මෙම ඡායාරූපය හා ඇලිසන්ගේ තවත් ඡායාරූප නිසා තත්වය එන්න එන්නම බරපතල උනා. මුළු රටේම පිරිමින්ගේ ඒකායන ආසාවක් බවට පත් වූ ඇලිසන්ට වැඩි දවසක් යන්න කලින් ලෝකයේ මිලියන ගානක පිරිමින්ගේ ආසාවක් බවට පත් වෙන්නටත් සිදු උනා. හිතන්න අවුරුදු 17 ක නව යොවුන් තරුණියකට මෙවැනි කුප්‍රකට ප්‍රසිද්ධියක් නිසා මොකක් වෙන්න පුලුවන්ද කියලා. ඇය අතරමං වෙන්න, ජිවිතය එපා වෙන්න උනත් පුළුවන්.

මේ කිසිම දෙයකින් නොසැලුනු ඇලිසන්ට තවත් කල් ගත වෙද්දි එහි පීඩනය දරා ගැනීමට අපහසු වූ නිසා මෙම කටයුතු බලා කියාගැනීමට කළමණාකරුවෙකු පවා පත්කරගන්නට සිදු වෙනවා. ෆේස්බුක් එකේ මිතුරන් ගණනය කිරීමේ ක්‍රම වේදය පවා අභියෝගයට ලක් වෙන අයුරින් ඇයි මිතුරු ඇරියුම්, පින්තූර ඉල්ලීම්, අශ්ශීල කමෙන්ට් වගේම සුභවාදී කමෙන්ටුද ගංගාවක් සේ ගලා එන්නට උනා. ඇයගේ පියා ඇලන් මෙම තත්වය පාලනය කරන්නට හෝ නීතිමය පියවර ගැනීමට උත්සාහ ගත්තත් ඒ සියල්ල ව්‍යර්ත උණා.

මේ විදියට ඇයගේ රූපය ලෝකය පුරා සැරි සරද්දී ලෝකය පුරාම ඇය ගැන පත්තර වාර්තා පල උනා. ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, ඇමරිකාව, නයිජීරියාව, එංගලන්නය ආදි රටවල ප්‍රධාන ධාරාවේ පුවත්පත් පවා ඇලිසන් ගැන වාර්තා පල කර තිබුනා. 

ඇලිසන්ට හිමි වූ කුපක්‍රට ප්‍රසිද්ධියක් සමඟ ඇය ඉමහත් ගැටළුවකට පත් උනේ කවදාවත් ඉවර නොවන සංසිද්ධියටයි. ෆොටෝ ෂුට් සඳහා දවසකට ඉල්ලීමි සියයකටත් එහා ලැබෙන කොට යන යන තැනදි මිනිස්සු ඇය දිහා ඇස් දල්වා බලා සිටින විට, ක්‍රීඩා කරන විටදී මීමැසි පොදි මෙන් ඡායාරූප ශිල්පීන් ඇය වටා එකතු වන විට තත්වය තවත් බරපතල උනා. මෙම තත්වය වක්‍රාකාරව ඇයගේ ක්‍රීඩා දක්ෂතා මොට කිරීමට පවා සමත් වීමෙන් කොයි තරං ජරාජීර්ණ බරපතල තත්වයකට පොඩි කෙල්ලෙක් විදියට ඇයට මුහුණ පාන්නට සිදු උනාද යන්න සිතා ගත හැකියි.

කෙසේ වෙතත් තව තවත් ක්‍රීඩාවේ යෙදෙමින් ඇයගේ රූපයට ඇති ඇල්ම අඩු කරන්නට ගත් උත්සාහයන් සාර්ථක උනේ නැහැ. ක්‍රීඩාවේ ඇය දක්වන දක්ෂතාවයන් අභිබවා ඇයගේ රූපය ගැන කතා කිරීම කොයි තරං ජුගුප්සාජනක, අනවශ්‍ය දෙයක්ද යන්න ඇලිසන් පසුව පුවත්පතකට ප්‍රකාශ කර තිබුනා.

මේ කිසිම දෙයකින් තව ක්‍රීඩා කටයුතු නතර නොකල ඇලිසන් තව දුරටත් රිටි පැනීමේ ක්‍රීඩාවේ නිරත වූ අතර, ඒ වන විට ලෝකයේ සිටි ජනප්‍රියම රිටි පැනීමේ ක්‍රීඩිකාව විදියට ඇලිසන්ව පත් කරන්නට තරම් මාධ්‍ය, සමාජ ජාල වලට හැකි වෙලා තිබුනා.

ඇලිසන්ට වූ බලපෑම්

ඇලිසන් යන යන තැනදි ඇය වටා රසිකයන් පොදි ගැහීම, පින්තුර ගැනීමේ තරඟය නිසා ඇලිසන්දැ ඩි මානසික පීඩනයට පත් උනා. ඇයට තමන් කියන කරන දේ පවා වෙනස් කර ගැනීමට සිදු අතර, තවත් කාලය ගත වෙද්දී ඇයගේ ජීවිතය එකම අපායක් බවට පත් උනා.  මේ වන විට ඇලිසන්ගේ රූපය ගැන අන්තර්ජාලයේ සෙවුම් ප්‍රමාණය මිලියනය ඉක්මවා ගොස් තිබුණි. 

විශ්විද්‍යාල ජීවිතය
කුමන් තත්වයක් යටතේ හෝ තමන් ආදරය කරන රිටි පැනීමේ ක්‍රීඩාවෙන් ඉවත් වීමට ඇය කටයුතු කරේ නැහැ. ඒ අනුව සමාජයෙන්, සමාජ ජාල වලින් ඈත් වී තම කටයුතු කරගෙන යන්නට ඇලිසන් පියවර ගත්තා. ඇලිසන් විසින් පිහිටුවා තිබූ ජාතික වාර්තා හේතුවෙන් ඇයට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලැබුනා. එහිදී අධ්‍යාපනය වගේම ක්‍රීඩා කටයුතුත් සමානව කරමින් තව තවත් දක්ෂතා දක්වන්නට ඇයට හැකියාව ලැබුන අතර, තව තවත් වාර්තා පිහිටුවන්නටත් ඇලිසන්ට හැකි වෙනවා. එ් කොහොම උනත් ඇයට පාඩුවේ ඉන්න ලැබෙන්නෑ. විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටුවේ තිබු ඇලිසන්ගේ පින්තුරය ඉන් ඉවත් කරන්නට පාලන අධිකාරයට සිදු වන්නෙත් ඇලිසන්ට තිබු අසීමිත ඉල්ලීම් නිසයි. ඇලිසන් විශ්‍වවිද්‍යාලයෙන් පිට වන්නේ සමාජ විද්‍යාව සම්බන්ධ උපාධිධරයෙකු ලෙසයි.


2012 ඔලිම්පික් ක්‍රීඩා
උපාධිය ලබා ගැනීමෙන් පසුව ඇලිසන් රිටි පැනීම ගැන ඇයගේ අවධානය දිගටම තියා ගන්නේ ඔලිමිපික් පරිසාදන මට්ටමට ලඟා වීමටයි. නැවතත් වාර්තා අලුත් කරමින් අඩි 14 අගල් තුනහමාරක් රිටි පනින්න ඇයට හැකි වෙනවා. මෙම වාර්තාවත් සමඟ ඔලිම්පික් ක්‍රීඩා තරඟ සඳහා සුදුසු කම් ලැබීමේ හැකියාව දකින ඇය මීට පෙර නොකල අයුරින් ඇයගේ පුහුණුවීම් වල නිරත වන්නේ අනෙක් සියළු දේවල් අමතක කරමින්. අමතක කරන්න එපා මේ කටයුතු මෙහෙම සිද්ධ වෙද්දිත් අර ඡායාරූප ඇගේ පිටු පසින් පැමිණෙනවා. කොතරම් බාධක මැදින් අධිෂ්ඨානයෙන් පුහුණුවීම් කලත් අවසානයේදී ඔලිම්පික් පරිසාදන මට්ටම ඉක්මවා යන්නට ඇලිසන් නොහැකි වන්නේ අවාසනාවන්ත විදියට. අඩි 14 ක පරිසාධක මට්ටමට ලඟා වන්නට ඇයට නොහැකි වීමෙන් ඔලිම්පික් සිහිනය බොඳ වෙනවා. 

පින්තූරයෙන් වැඩක් ගැනීම
2007 දී රැල්ලක් විදියට ආරම්භ වූ ඇලිසන්ගේ කුප්‍රකට ජනප්‍රියතාවය නිසා ඇයට නිලියෙක් වන්නට, මොඩලින් කරන්නට වගේ නොසෑහෙන විදියට ඇයගේ රූපය භාවිතා කර මුදල් සෙවීමේ අවස්ථා රාශියක් ඇයට ලැබුනත් ඒ කිසිදු ඉල්ලීමක් ඇය පිළිගන්නේ නැහැ. ඒ සියල්ලෙන් ඉවත් වී තම කටයුතු කෙරෙහිම අවධානය යොමු කල ඇය 2015 වර්ෂයේදී අර ජනප්‍රියතාවයෙන් කුඩා ප්‍රමාණයක් තමා වෙනුවෙන් භාවිතා කිරීමට පියවර ගන්නවා. වෙනත් අයෙකු නම් අනිවාර්යයෙන්ම මේ වන විට තමන්ගේ රූපය ලෝකයට විකුණලා හමාරයි. එහෙනං ජීවිතයත් අපායක් වෙන තරමටට රූපය පාව්චිචි කරල හප කරල මෙලකහට විසික් කරලත් ඉවරයි මාර්කටින් ඔස්තාර්ල. කොහොම හරි ලෝකයේ තියෙන හොඳම ක්‍රීඩා සන්නාම වන Nike, Athleta  ආයතන වලින් ලැබුන වෙළද සන්නාම තානාපති තනතුරු ඇය විසින් භාර ගත්තා. එහෙත් සීමාසහිතව පමණක් එම කටයුතු වල නිරත වූ ඇලිසන් පසුව GoPro කණ්ඩායම සමඟ එකතු වී වැඩ කරන්නට ගත්තා. එතැනින් එහාට තවත් එක් සමාගමක් සමඟ පමණක් සම්බන්ධ වූ ඇලිසන් අනෙක් සියළු කාරණා පිටුපසට කොට තවමත් රිටි පැනීමේ ක්‍රීඩාවේ යෙදී සිටිනවා. 2017 වර්ෂයේදී ඇය විසින් වාර්තා කරන ලද පෞද්ගලික හොදම උස පැනීම තවමත් ඇයව ඔලිම්පික් ක්‍රීඩා වලට සුදුසු කම් ලබන තත්ත්වයකට පත් කොට නැහැ.

අවුරුදු දහයක් ඒ පින්තුරෙට

මම ඇලිසන් ගැන දැනගත්තේ ක්‍රික්ඉන්ෆෝ එකේ පහුගිය ඉන්දීය ටෙස්ට් මැච් වල ස්කෝර් බල බල ඉන්න ගමන්. අවුරුදු 10 කට පසු ඇලිසන්ට මොකද උනේ වැනි හෙඩිමකින් ESPN අඩවියේ තිබූ ලිපියක් කියවීමෙන් මම ඇලිසන් ගැන දැන කියාගත්තා. කුප්‍රකට ඡායාරූපය පලවී අවුරුදු 10 ගත උනත් ඇලිසන්ට තියෙන පිරිමි ඇල්ම බැල්ම අඩු වන්නේ නැහැ. එහෙත් ඇය ඉතා දක්ෂ විදියට ශක්තිමත්ව එය පාලනය කරගන්නවා. කාන්තාවක් විදියට සමාජයේ අනවශ්‍ය අවධානයකට අසීමිත විදියට ලක් වෙන කොට දෙපයින් නැගී සිටිමින් තව ජීවිතය පවත්වාගෙන යාම කොයි තරං අපහසු දෙයක්ද? සියළු දෙනාටම උවමනා උනේ ඇයගේ රූපය දිහා බලමින් සිතින් රමණය කරන්නට. එයින් පසුව ඇලිසන්ට ලැබුන පීඩා, අපහසුතා, මානසික පීඩනයන් ඉතා විශාලයි. කෙසේ වෙතත් තත්වය තමන්ට අවශ්‍ය විදියට පාලනය කරගෙන තවමත් තමන් ආදරය කරන රිටි පැනීම ක්‍රීඩාවේ නියැලෙන්නට හැකිවීම කියාපාන්නේ කාන්තාවක් විදියට ඇලිසන් ඉතා ශක්තිවන්ත පිරිමියෙකුටත් එහා සද්දන්තයෙක් කියලයි. අපායක් වූ තමන්ගේ ජීවිතය තව දුරටත් අපායට තල්ලු නොකර සිටිිමට හැකි වීමම ඇත්තේන්ම දක්ෂතාවයක්. මේ ලෝකේ පහළ වූ දක්ෂතම රිටි පැනීමේ ක්‍රීඩිකාව ඇලිසන් නොවුනත් මෙවැනි කුප්‍රකට, අපහසු තත්වයක් පාලනය කරමින් සතුටින් ජීවිතය පවත්වාගෙන යන දක්ෂතම සුරූපි ක්‍රීඩිකාව ඇය බව මට හිතෙනවා.

ඇලිසන් දැං මොකද කරන්නේ

ඔහෙලට කියන්න දැං ඇලිසන් නංගි බෝම සන්තෝසෙන් ඉන්නවා. ඇමරිකාවේ ගොල්ෆ් ගහන අයිය කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඇලිසන් නංගි එයත් එක්ක ලෝකේ වටේ යනවා විතරක් නෙමෙයි ඒ පින්තුර ඉන්ස්ටග්‍රෑම් එකේ එහෙමත් නිතරම දානවා. ඒවා බලන්න එයාගේ ලස්ස ගානක ෆලෝවර්ස්ලා සැදී පැහැදී ඉන්නවා. තාමත් ඉතිං එක එක ප්‍රශ්න දාන මුග්ධ පිරිමි නැතිවා නෙමෙයි. එහෙත් ඒ අයට කිට්ටු වෙන්න බැරි තරම් මානසික ශක්තියකින් ඇලිසන් නැගී සිටීම සමස්ථ ලෝකයටම ආදර්ශයක්.

පලි- ඇලිසන් ගැන පල වෙච්චි සියළුම ලිපි වල ඇලිසන්ගේ පින්තූර හත අටක් වත් අඩුගානේ තිබුනා. ඒත් මම පාව්චිචි කරේ අර පින්තුරය විතරයි. අනෙක් ඒවා අවශ්‍ය නම් සොයා බලන්නට පුලුවන්. ලිපිය තරමක් හෝ සාර්ථක එකක් යැයි සිතමින් පබිලිස් බටම ඔබමි. (කංකාණං අඩේ යටට වැදිල ඉන්නේ)

Friday, November 24, 2017

මන්සා මියුසා (Mansa Musa I)

ලෝකේ ඉන්න ලොකුම ධනපතියා වෙන්න පුළුවන් නං නියමයි නේ. ඒ වගේ පිනා චෑන්ස් එකක් අපේ ඇමේසන් ඩොට් කොම් එකේ අයිතිකාර ජෙෆ් උන්නැහේට ලැබුණා. ඒ කියන්නේ ලෝකේ දහතුන් වෙනි දනපතියා වෙච්චි ජෙෆ් අයියා එක පාරටම පළවෙනියා උනේ එයැයිගේ සමාගමේ කොටස් වල මිල එකපාරටම 13% කින් ඉහළ ගියපු නිසයි. ඒ නිසා ජෙෆ්ගේ ආදායම ඩොලර් බිලියන් 90 ඉක්මවලා ගියා. ප්‍රථම වතාවට තමා එක් අයෙකුගේ ආදායම ඩොලර් බිලියන අනූව ඉක්මවලා ගියේ. (බිලියන වලට බිංදු කීයද කියල මෙතනින් බලාගන්න.)

ඈ. එතකොට ඩොලර් බිලියන අනූව පන්නපු කව්රුවත් මේ ලෝක තලේ උන්නෙම නැද්ද? සියඹලා ගෙනැල්ලම නැද්ද?

බොහෝ දෙනෙක් නොදන්නවා උනාට පෘථිවිය මත ජීවත් වූ පොහොසත්ම පුද්ගලයා ඔය අපි හිතන බිල් ගේට්ස්ලා, ස්ටීව් ජොබ්ස්ලා,  වොරන් බෆට් අංකල්ලා අතරින් කෙනෙක් නෙමෙයි. ඇමරිකාවේ තෙල්නිධි හිමි ජෝන් ඩී රොක්ෆෙලර් තමා නූතන ලෝකයේ හිටිය පොහොසත්ම පුද්ගලයා. ඔහුගේ ආදායම ඩොලර් බිලියන 336 ක් විතර. කෝමද ඒ ගාන. බිල් ගේට්ස්ලා පස් හය දෙනෙක් ගන්න පුළුවන් ඒ සල්ලි වලින්. ඉතිං එතකොට එයාද මේ ලෝකේ ජිවත් වෙච්චි පෝසත්ම කෙනා. ඒත් නෑ අනේ. මෙච්චර කාලෙකට ජීවත් වෙචිචි පෝසත්ම පුද්ගලයා අපිට හමු වන්නේ ක්‍රි.ව. 1300 කාලේ බටහිර අප්‍රිකානු කලාපයෙන්. කොටින්ම කිව්වොත් ක්‍රි.ව. 1312 ඉදල ක්‍රි.ව. 1337 වෙනකල් අවුරුදු විසිපහක්ම මාලි රාජ්‍යෙය් අධිරාජයා වශයෙන් හිටියා මියුසා අධිරාජයා තමා මේ ලෝකේ ජීවත් වෙච්චි පොහොසත්ම පුද්ගලයා විදියට නිල වශයෙන් පිළිගන්නේ. මේ කරුණ 2012 දී විතර තමාටයිම්ස් සඟරාව තහවුරු කරල තිබුණේ. හැබැයි මේ කරුණ තරමක් විවාදසම්පන්නයි. බොහෝ ආර්ථික විද්‍යාඥයින් මේ කරුණට එකඟ වන නමුත් තවත් සමහරක් දෙනා ඒකට විරුද්ධයි. ඉතිං අපි එකඟයි කියන තැන ඉදල මේ කතාව කරගෙන යමු.

අන්තර්ජාලයෙන් මොහු ගැන සොයනවා නම් ඔබට පහසුවෙන්ම Mansa Musa කියල සෙවීමෙන් සොයාගන්න පුළුවන්. මන්සා කියල කියන්නෙ පැරණි භාෂා අනුව “රජතුමා“, “අධිරාජයා“ කියන එකයි. මන්සා මියුසා කියා හදුන්වන මේ අධිරාජයා දහ හතර වෙනි ශත වර්ෂයේදී මාලි අධිරාජ්‍යය පාලනය කළ බව සඳහන් වගේම ඔහු අවුරුදු විසි පහක් රජකම් කළ බවත් සඳහන්. නමුත් ඔහු මිය ගිය වර්ෂය සහ පාලනය කළ වර්ෂයන් නිසි පරිදි තහවුරු වී නොමැති බැවින් එක් තැනක ක්‍රි. ව. 1331 මිය ගිය බවත් තවත් තැනක ක්‍රි.ව. 1337 දී මිය ගිය බවත් සඳහන් වෙනවා. පුරාණ මාලි අධිරාජ්‍යය ස්වාභාවික සම්පත් අතින් පොහොසත් විශාල භූමි බාගයක පැතිරුණ රාජ්‍යයක්. දැනට අපි නම් වශයෙන් හදුනන සෙනගල්, ගැම්බියාව, ගිනිවා, අයිවරි කෝස්ට්, මාලි, නයිගර් කියන රටවල් වල භූමි කලාපය මේ අධිරාජ්‍යය ලෙස හදුනාගෙන තිබෙනවා. දහ හතර වැනි ශත වර්ෂයේදී වෙළදාම සහ මුදල් හුවමාරුව යන සියල්ල භාණ්ඩ හුවමාරුව හරහා සිදු වූ බව අපි දන්නවා. මාලි අධිරාජ්‍යය ලුණු සහ රත්රන් ආකර වලින් ගහන කලාපයක් වූ නිසාම නිසි ලෙස කළමණාකරණය කලේ නම් සෞභාගයේ හිනි පෙත්තටම ලං වන්නට හැකියාව තිබු රාජ්‍යයක් තමා මාලි අධිරාජ්‍යය. අද කාලයේ ලුණු වලින් පෝසත් වෙන්න පුලුවන්ද කියල හිතුනට ඒ කාලේ, ලුණු සහ රත්රන් තමා සියළු ගණුදෙනු වලදි මුදල් විදියට හුවමාරු උනේ. අපි කතා කරමින් ඉන්න කාලයේදී ලෝකයේ ලුණු සහ රත්රන් අවශ්‍යතාවයෙන් හරි අඩක්ම සැපයීමේ හැකියාව මාලි අධිරාජ්‍යයට තිබූ බව සදහන්. මේ කරුණ නිසා එහි පාලකයා පෝසතෙක් වීම අරුමයක් නෙමෙයි.

දැනට ගණන් බලා ඇති හැටියට කාලානුරූප උද්ධමන අනුපාතයන් සැලකිල්ලට ගත් විට මන්සා මියුසාගේ වර්තමාන ආදායම අවම වශයෙන් ඩොලර් බිලියන 400 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තියෙනවා. මේ ගණන ආසන්න වශයෙන් කිට්ටු වන්නේ නූතන ලෝකයේ පොහොසත්ම පුද්ගලයා වෙච්චි ඇමරිකානු ජාතික රොක්ෆෙල්ර්ට පමණයි. අනෙකුත් සියළු දෙනා මේ අහලකින් වත් තියන්න බැහැ. කලාපය තුල මාලි අධිරාජ්‍යයට ජලය පාලනය කිරීමේ අති විශේෂ හැකියාවක් තිබුනා. මොකද ලෝකයේ බටහිර අප්‍රි්කාවේ විශාලතම ගංගාව ලෙස සැලකෙන නයිගර් ගංගාවේ විශාල කොටසක් මාලි අධිරාජ්‍යය හරහා වැටී තිබීම මත ජලයේ බලයත් මාලි අධිරාජ්‍යය සතු උනා.


බ්‍රිතාන්‍යය ඇතුලු සියළු යුරෝපීය ජාතීන් දහ හතර වෙනි ශතවර්ෂය වෙද්දී දරිද්‍රතාවයෙන් සහ කුරිරු සිවිල් යුද්ධ වලින් මිරිකිල ඉදිද්දී, අප්‍රිකාවේ එක් කෙළවරක අධිරාජ්‍යයක් සාමයෙන් සමගියෙන් සහ සෞභාග්‍යෙයන් යුත්ව පැවතීමත්, දහ හත් වෙනි ශත වර්ෂය වෙද්දී මේ තත්වය මාරු වෙන්නටටත් දහ නම වන ශත වර්ෂය වෙද්දි බොබ් මාලේ ට I shot the Sherriff, Get up stand up for your rights වගේ ගීත කියන්නට සිදු වීමත් අහඹුවක් නෙමෙයි.

ලෝකයේ කිසිවෙකුත් නොදැන සිටි මාලි අධිරාජයාගේ තරම දැන ගන්නට හැකි වන්නේ හැත්ප්ම තුන්දාහකට එහා පිහිටි මක්කම වන්දනාව සදහා මන්සා මුසා පිටත් වූ දවසෙයි. ඒක වන්දනාවක් නෙමෙයි නයිල් නදිය අනිත් පැත්තට හැරුණා වගේ තියෙන්න ඇති.

මන්සා මියුසා රජකමට පත්වීමත් අපූරු කතාවක්. එකල මාලි අධිරාජයා වූ දෙවැනි අබුබකාරි රජු තම පිරිවරත් සමග මක්කම වන්දනාවේ සහ තවත් ඈතට ලෝකය ගවේශනය කරන්න යන්නේ ඔහුගේ දෙවැනියා වූ මියුසා කේයිටා හට තාවකාලිකව බලය පවරා දෙමින්. දැං කාලේ ජනාධිපති රට යනකොට අගමැතිට වැඩ බලන්න දීල යනව වගේ වැඩක් තමා ඒකත්. නමුත් කාලයක් ගත උනත් අබුබකාරි රජු නැවත නොපැමිණීම නිසා මියුසා කෙයිටා, පළමු මන්සා මියුසා වශයෙන් අධිරාජයා හැටියට පත් වෙනවා. පළමු වෙනි මන්සා මියුසා මාලි අධිරාජ්‍යෙය් දහ වෙනි මන්සා එහෙම නැත්නං අධිරාජයා විදියට සැලකෙනවා. ඔය රජකම කියන එක මියුසාගේ ඇගේම තියෙන්න එකම හේතුව තමා, මාලි අධිරාජ්‍යය බිහිකරපු සුන්ඩියාටා කේයිටා (Sundiata Keita) අධිරාජයා ඔහුගේ ළගම ඥාතියෙකු විම. ලේ වලට පාලන බලය එකතු වෙන හැටි නේද? 

කලින්කි ව්වත් වගේ මොහු භක්තිමත් මුසල්මානුවෙක්. ඒ නිසා හිතක් පහළ වෙනවා ශුද්ධ වූ මක්කම වන්දනාවේ යන්න ඕනය කියලා. ඉතිං දැං කාලේ වගේ හිතුන ගමන් ප්ලේන් එකක නැගල යන්න බැහැ මක්කම ඒ කාලේ. මේකට අඩුම ගානේ මාස හතරක් පහක් වත් ගත වෙනවා. සහරාව, ඊජිප්තුව පසු කරමින් හැතැප්ම තුන්දාහට අධික දුරක් ගෙවා දමමින් ඔටුවන් පිට මේ ගමන යන්න සිදු වෙනවා. මේ වන්දනාව සඳහා ඔහු සුදානම් වන්නේ මෙහෙමයි.

ක්‍රි.ව. 1324 දී ඔහු මාලි අධිරාජ්‍ය අගනුවර වන නියානි නුවරින් ගමන ආරම්භ කරන්නේ. (වර්තමානයේ ගිනියා රටේ තමා මේ නගරය තියෙන්නේ) ඔහුගේ ආවතේවකං කිරීමට හා ගමනට අවශ්‍ය බඩුභාණ්ඩ ගෙන යාම සඳහා හැට දහසක සේනාවක්,  රත්රන් කිලෝ දෙක බැඟින් රැගෙන යන වහලුන් හත්දාස් පන්සීයක්, එකෙකුට කිලෝ 130 කට බරිකින් යුතු රත්තරන් ගෙනියන ඔටුවන් සියයක් වශයෙන් මහා විශාල සේනාවක් එක්කයි ඔහු මේ ගමන පිටත් වන්නේ. ඊට අමතරව පූජකයන්, වෛද්‍යවරුන්, කෝකියන් ඇතුලු තමන්ට අවශ්‍ය සියළු අවශේෂ සේවා සපයන්නත් විශාල ප්‍රමාණයකුත් මීට සහභාගී වෙනවා. එතකොට හිතල බලන්න මියුසා රජු මේ ගමනට ගෙනියන රත්තරන් ප්‍රමාණය ටොන් එකහමාරකටත් වැඩියි. 

ඊජිප්තුව හරහා මේ ගමන යද්දී, ඔහු සිකුරාදා දිනයේ නවතින හැම තැනකදීම මුස්ලිම් පල්ලියක් ඉදි කරපු විත්තියකුත් සඳහන් වෙනවා. එතකොට පල්ලි විස්සක් විසි පහක් වත් හදන්න ඇති. ඔය අතරේ ඊජිප්තුවේ කයිරෝ නුවරට ටිකක් කලින් මේ මහා සේනාව ආපු නිසා ටික දවසක් කයිරෝවේ නවතිනවා. ටික දවසක් කිව්වට මාසයක් වත් ඉන්න ඇති මයේ හිතේ. ඔය අතරෙදි තමා මියුසා රජතුමා තමන් කව්ද කියන එක ලෝකෙට පෙන්නන්න ගත්තේ.

අර ගෙනාපු රත්තරන් පොලු අතරමගදිත් දුප්පත් මිනිස්සුන්ට බෙද බෙද ආපු මියුසා රජතුමා, කයිරෝවේ බොහෝ දුප්පතුන්ට කෙලින්ම රත්තරං පොල්ල ගානේ තෑගි දුන්නා. ඒ මදිවට පොඩි ආලවට්ටම් කෑලි ගන්න, කයිරෝව මතක හිටින්න කිසිම වටිනාකමක් නැති සිහිවටන ගන්න හෙමත් අර රත්තරන් පොල්ලම තමා භාවිතා කරේ. ඔයින් මෙයින් බෙදපු රත්තරං ප්‍රමාණය ඇස් අදහාගන්නට වත් බැරි තරං. ගියපු කට්ටිය කයිරෝවේ කඩවල් ගානේ ගිහිල්ල වියදං කරපු අති විශාල රත්තරං ප්‍රමාණයක් එක්ක කයිරෝව වැටුවේ හද්ද අමාරුවක. මියුසා රජතුමා බෙදපු රත්තරං වල ආනුභාවයෙන් මෑතකදි සිම්බාබ්වේ රාජ්‍යයට වෙච්චි අලකලංචියම කයිරෝවත් සිද්ධ උනා. හදිස්සියට දෝසි කෑල්ලක් ගන්න ගියත් දෝසි කෑල්ලට ගෙවන්න රත්තරං පොල්ලක්වත් ඕන වෙන සයිස් එකටම රත්තරං වල වටිනාකම අවප්‍රමාණය වෙන්න ගත්තා. මියුසා රජතුමා මක්කම වැදල ආයි එන කොට මේ වෙච්චි දේ දැකල, කයිරෝවේ වෙළෙන්දන්ගෙන් හිතාගන්නවත් බැරි ගණං වලට තමන්ම දීපු රත්තරං ටිකෙන් සෑහෙන්න ප්‍රමාණයක් ආයි අරන් ආවය කියලයි කියන්නේ. ඒ කියන්නේ හැට දහසක සේනාවට ආපහු අරන් යන්න පුළුවන් ප්‍රමාණයක රත්තරං ආයිත් මිලට අරගත්තලු. ඔයින් මෙයින් කයිරෝවේ වෙළදාම, ආර්ථිකය දරුණු පසු බැමකට ලක් උනා. අවුරුදු දොළහක් පහු ගිහිල්ලත් මේ වෙළදපොළ තත්වය නිසි තත්වයට පත් උනේ නැහැ. ඒ අනුව බලන කොට ඉතිහාසඥයින් කියන්නේ එක් පුද්ගලයෙකු විසින් රටක ආර්ථිකයට කරපු ලොකුම බලපෑම කරල තියෙන්නෙත් මියුසා රජතුමාය කියලයි.

මියුසා රජතුමා ආයිත් ගම්බිම් බලා යද්දි, මුස්ලිම් රටවල් වල හිටිය ඉස්ලාම් ආචාර්යවරුන්, ගෘහනිර්මාණ ශිල්පීන් ඇතුලු බොහෝ දෙකේ මාලි අධිරාජ්‍යයට කැඳවා ගෙන ගොස් ටිම්බුක්ටු නම් නගරයේ බොහෝ ඉස්ලාම් අධයාපන ආයතන, මුස්ලිම් පල්ලි හෙම ගොඩ නගල ඉස්ලාමය ප්‍රචලිත කරන්න සෑහෙන්න වැඩ කොටසක් කරල තියෙනවා. 

කොහොමින් කොහොම හරි ලෝකය නොදැන සිටි මහා ධනවතෙකු පිළිබඳව මුල් වරට යුරෝපය, අප්‍රිකාව වගේම අරාබියත් දැනගන්නවා. මියුසා රජතුමාගේ ධනවත් බව, පරිත්‍යාගශිලී බව වගේ බොහෝ දේවල් ගැන ලෝකය පුරා මිනිස්සු කතා වෙනවා. මට හිතෙන විදියට දහ හත් වන ශත වර්ෂයේදී පමණ තමන්ට පුළුවන් වෙච්චි වෙලාවක මාලි රාජ්‍යය ආක්‍රමණය කරල මේ වස්තු කොල්ල කන්න යුරෝපීයන් කටයුතු කරන්නෙත් ඔය හේතුව නිසාම වන්නට ඇති.

මියුසා රජු විසින් ඉඳි කරපු පල්ලී. විද්‍යාල අවුරුදු හත් අට සීයක් ගත වෙලත් තවමත් ටිම්බුක්ටු නුවර තියෙනවා. මේවායින් සමහර ස්ථාන යුනෙස්කෝව විිසින් පෞරාණික ස්ථාන ලෙස නම් කරල තියෙන අතරේ 2012 වර්ෂයේදි පමණ ටිම්බුක්ටු නගරය අත්පත් කරගත් නිහීන ඉස්ලාම් අන්තවාදීන් විසින් සමහර පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කරල දාලා. ඒ අතරින් Sankore University නමින් තිබෙන පුරාවිද්‍යාත්මක පරිශ්‍ර යේ තිබූ පුරාණ අත්පිටපත් ලක්ෂ ගාණක් පුළුස්සා ඇති බවත් සඳහන්.

වසර විසි පහක් හොදින් පවත්වාවෙන ගිය මාලි අධිරාජ්‍යය, මියුසා රජුගේ ඇවෑමෙන් තවත් පරම්පරා දෙකක කාලයක් තුලදි අර කලින් කිව්ව යුරෝපීය ආක්‍රමණ හා අභ්‍යන්තර කැරලි හේතුවෙන් විනාශයට පත් වෙනවා. මාලි අධිරාජ්‍යය අප්‍රි්කානු හා අරාබි වෙළද මාර්ගයේ සුවිශේෂම ස්ථානයක් වගේම, කලින් සඳහන් කරපු ටිම්බුක්ටු නගරය ප්‍රධාන වෙළද මර්මස්ථානයක් බවටත් පත් කරන්නට මේ රජතුමාට හැකි වෙනවා. සියල්ල අනිත්‍යයි කියන දේ වසර සියයක දෙසීයක ඇවෑමෙන් මාලි රාජ්‍යය විනාශ වීමෙන්ම අපට පැහැදිලි වෙනවා.

හරිනේ. දැං ඉතිං පොඩ්ඩක් තමන් හිතන විදිය වෙනස් කරගන්න වෙනවා. මේ ලෝකේ ජීවත් වෙච්චි පෝසත්ම මනුස්සයා කව්ද කියල ඇහුවොත් අපි දන්න අයට උඩින් පළමු වෙනි මන්සා මියුසා කෙයිටා රජතුමා ඉන්න බව අමතක කරන්න එපා.


මන්සා මියුසා රජුගේ යැයි සැළකෙන නූතන සිතුවමක්



පුරාණ සිතියමක මන්සා මියුසා රජුගේ රූපය සටහන් වී ඇති අයුරු (1375 Catalan Atlas)




Sankore Madrasa - සැන්කෝර් විශ්වවිද්‍යාලය

පලි - වැරදි, නිවරැදි කිරීම් සන්තෝසයෙන් භාරගනු ලැබේ.

References 
https://en.wikipedia.org/wiki/Musa_I_of_Mali
https://quizlet.com/10021963/islamic-empires-spread-of-islam-flash-cards/
https://en.wikipedia.org/wiki/Mali_Empire
http://www.blackpast.org/gah/musa-mansa-1280-1337
https://en.wikipedia.org/wiki/List_of_wealthiest_historical_figures
http://aplus.com/a/mansa-musa-is-richer-than-you-thought?no_monetization=true
https://www.jetpunk.com/blog/mansu-musa-not-the-richest-person-ever
https://www.dailystar.co.uk/news/latest-news/606334/billionaire-richest-man-earth-video-money-millionaire-cash-Mansa-Musa-gold-Mali-footage
http://www.softschools.com/facts/world_history/mansa_musa_i_facts/2208/
http://interestingfacts.tv/celebrities-facts/interesting-facts-about-mansa-musa-i-the-richest-man-of-all-time/
https://www.celebritynetworth.com/articles/billionaire-news/mansa-musa-the-richest-person-in-history-lived-a-pretty-bad-ass-life-heres-what-it-was-like-to-be-him/

Sunday, September 3, 2017

වසන්තම් ලී සැණකෙලිය!!


වසන්තයේ කළු උපයයි
අරාබියේ තඩි දුමියයි
තිස්ස සමඟ කල්‍යානයි
රියාල් ගහක් දැන් සොලවයි
ලී මෝලෙ වැඩ ඇරඹෙයි//

ගලින් ගලට පැන ගෙන යන හත්පා මත්තේ
අඟල් හයක ලී දඩු ටික මේසය මුල්ලේ
ලියා තිබේ නම් කරුණක් කොටාලා ලීයේ
බලා සිටින්නෙමි තවමත් වැට් ඇයි නැත්තේ

වසන්තයේ කළු උපයයි...

දිනපු උන් දිහා බලල හිත කකියනවා
වැට් එකක් නැති මට දැන් තරහත් එනවා
ලී කැබලි මොකටද මං රත්තරන් දෙනවා
හෙට උදේ ආවොතින් නං තොපි බේබදු වෙනවා

වසන්තයේ කළු උපයයි..//

වසන්තම් ලී කුට්ටි බෙදාදීම අද සැප්තැම්බර් තුන්වන දින හිඳෙල්ලන හත්පාද මැදුරේදී.. චියර්ස්

තාලය - ඉන්ද්‍රානි පෙරේරාගේ වසන්තයේ මල් කැකුළයි

Tuesday, August 29, 2017

සැකේ නිසා ලොව සමහරක් මුලාවේ!!

අපේ ඔපීසියේ ඉන්න සමාර උන්ට පට්ට සැකයි මං හෙඩ් ඔෆිස් එකට කේලං කියනවද කියලා. ඉතිං උං එක එක ජාතියේ සුත්තර දම දම මාව චෙක් කරන්න හදනවා. එහෙම උණා කියල මං අහුවෙනවද නෑනේ. ඇයි ඒ. මං එහෙම කේලං කියන කෙනෙක් නෙමෙයි දරුවනේ. හැබෑටම ඔය සමහර උන් අහනවා “දේශා තෝ නේද එම්ඩී කාරයට අර වැඩේ අවුල් වෙච්චි එක කිව්වේ“ කියලා. මං මොන විදියෙන් කිව්වත් උංට ඇති වෙන සැකේ නං නැති කරන්න බෑ. සීයට අනුනමයක් මාව ෂුවර් උණත් සීයට එකක් අන්සුවර්. මටත් ඕන මෙන්න මේ සීයට එක අයින් කරල, සුදනෙක් වගේ පාඩුවේ ජීවත් වෙන්න. ඒත් මොන.. ටික දවසක් යනකොට මායි තව එකෙකුයි විතරක් දන්න කේස් එකකුත් එම්ඩී ගේ කනට ගියා කියල අනිත් එකාට විස්තරේ ලැබිච්චි දවසට විශ්වාසයේ ප්‍රතිසතයන් හුවමාරු වෙනවා. එතකොට ඌට මං ගැන තියන විශ්වාසය සීයට එකක් වත් නැති වෙන්නත් ඉඩ තියෙනවා. සමහර විට මං ඒක නොකිව්වට කව්ද දන්නේ කොන්ත්‍රාත්කාරයේ චීත්තයක් ඒක ලොක්කගේ කනේ තිබ්බද කියලා. ඒකත් සැකයක් විතරයි. කෝම උණත් දන්න එකම දේ වැඩේ පත්තු වෙලා කියන එක නේ.

මේක අපේ සමාජයේ, ගමේ, දිස්ත්‍රික්කේ, පළාතේ, රටේ, ඉන්දියාවේ, ඇමරිකාවේ හපොයි මුළු විශ්වයේම තියෙන දෙයක්. සැකය කියන බීජය. ඕක මහා භයානක දෙයක්. බුදු හාමුදුරුවො දේශනා කළේ සැකය කියන්නෙ බය නිසා ඇති වෙන දෙයක් කියායි. බය කියන්නෙත් විවිධාකාරයි. හරි හරි ධර්මදේශනාවක් කරන්න කාලේ නෙමෙයි මේක.

අපට යම් සැකයක් ඇති උණාම අපි මොකද කරන්නේ. ඒ සැකය ප්‍රත්‍යක්ෂ කරගන්න අපි සාක්ෂි හොයනවා. කොහෙන් හරි කමක් නෑ ගැටගහන්න පුළුවන් සාක්ෂියක් ලැබෙනව නං ඒක අරකට අමුණල තද වෙන්න ගැට ගහගන්නවා. ඔය වගේ පොඩි පොඩි ඇල්පෙන්ති කටු හරි ගහල සැකේ කියන බීජය ලොකු කරගන්න එක තමා සැකය ඇති කෙනාගේ අභිප්‍රාය. 

බ්ලොග් වල මොනාද සැක.. අප්පචිචියේ කොච්චර සැක තියෙනවද? 

අර යකා මොකක්ද කිව්වේ. 
මිනිහා පෝස්ට් එක කියෙව්වද
අර ප්‍රොෆයිල් එකේ ඉන්න එකා කව්ද
මූ මොකටද මේ බ්ලොග් එකේම නටන්නේ

ඒ අතරේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමා කව්ද යකෝ ඇනෝ කමෙන්ට් දාන්නේ කියන එක. ඕක හරිම වාත ප්‍රශ්නයක්. බ්ලොග් වලි බොහොමයක් ඇති වෙන්නත් හේතුව මේ ඇනෝ කමෙන්ට්. ඇනෝ දාන එක දානවා හොස්ස ලගින් මැස්සා යන්න බැරි උන්ගේ ඇස් වලට ගම්මිරිස් කුඩු ඉහින ගානට. ඉතිං ඇඹරෙනවා. පටන් ගන්නවා වලිය. එකායි දෙකායි තුනායි. එක එක ජාතියේ උණ්ඩ හතර අතේ වදිනවා. නිකමට එබිල බලන උන්ට සෙල් වෙඩි පත්තු වෙන වෙලා හිටං තියෙනවා. බලන්න සැකය නිසා අපි කරගන්න දේ. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ටික දවසකින් මතක් වෙනවා. අඩේ මං බැන්නෙ එක දේකට අන්තිමට බැන්නෙත් වෙන එකෙකුට. තරහ උණෙත් වෙන එකෙක් එක්ක කියලා. ඔය වගේ පජාත සීන් දෙක තුනක්ම මං දැකල තියෙනවා. මෙව්ව මේ තනිකර සැකය නිසා ඇති වෙන්නේ. අර ඇනෝ දාල බැනපු එකා ලියපු විධිය, උගේ අකුරු ටයිප් කරපු විධිය අනුව හිතනවා හරි මෙන්න මේ යකා තමා ඇනෝ ඇවිල්ල අපිට කෙළවන්න හදන්නේ කියලා. ඉතිං ඉවරායි. අපේ ඔය බෝම සත්ගුණවත් ජනප්‍රිය බ්ලොග් කරුවන් උණත් කව්රු හරි එක්ක මරා ගන්න ගියාම අම්මොහ්.. කුණු වෙන්න ගහල පාරේ පිස්සු කෙළින ගානටම කුණුහරුප වපුරෝගෙන තමා වලියට එන්ටර් වෙන්නේ.

මම ඒ දවස් වල ඉදලම දන්න දෙයක් තමා. ලංකාවේ මිනිස්සු වාද කරන්න දන්නෑ කියන එක. උන්ට වාදය කියන්නෙ වලියක් ටික වෙලාවක් යන කොට. තමන්ගේ මතය අභියෝගයට ලක් වෙන කොට බියෙන් වියරු වැටෙන මේ පෘථග්ජනයින් අනිත් මිනිහගේ අම්මගේ උප්පැන්නේ ඉදල හොයල නෙලන්න ගන්නවා. ඇත්තටම වාදයක් යන්නේ යම් කාරණාවක් සම්බන්ධව නම්, ඒකෙදි වාදයට සම්බන්ධ පුද්ගලයාගේ පෞද්ගලිකත්වය ඈදා ගැනීම කොයි තරං සදාචාර සම්පන්නද කියල හිතන්න වෙනවා.

සාමාන්‍යෙයන් මං වාද වලට යන මිනිහෙක් නෙවි. අපි ණයත් නෑ බයත් නෑ හරි. ඒ උණාට මට ඔව්ව කරන්න බෑ. එක පාරක් නං අයිලාස් අයියත් එක්ක වාදයක් ගියා භික්ෂුන්ට අවලාද කීම සම්බන්ධව. මම අන්තිමට ගෙදරට ගිහිල්ලා අයිලාස්ගේ කැමරාව කුඩු කරල ආවේ. ඇයි වදේ. මං ඒ වාදෙදි පරද්දන්නමයි මිනිහා හැදුවේ. හැක්

බ්ලොග් වල ඇනෝ එන අය ටක්කෙටම හොයාගන්න පුළුවන් ක්‍රම වේදයක් තියේය කියල පොළවේ පස් කකා අපේ අයියා කෙනෙක් කිව්ව මට මතකයි. ඒකට සහයෝගය දීපු සුදු අයිය කෙනෙකුත් හිටියා. ඒත් තාම හරියටම මං ඇනෝ දාපු කමෙන්ටුවක් හොයාගන්න මුන්ට බැරි වෙලා තියෙනවා. ඒක වෙනම කතාවක්.

බොහොමයක් බ්ලොග් වල තියෙනවා අයිපී ට්‍රැකර් විජට්. ඔය විජට් එකෙන් පුළුවන් කමෙන්ට් දාන එකා, විසිටරයා ලොග් වෙන ලොකේෂන් එක ආසන්න වශයෙන් හොයාගන්න. සමහර විට අයි පී ඇඩ්‍රස්එක අනුව එන්නේ මොන කම්පැනියෙන්ද කියල උණත් හොයන්න පුළුවන්. එහෙම හොයාගන්න එක හරි වැදගත් සැකයෙන් ඉන්න අයට. ඉතිං ඒ සැකයෙන් ඉන්න අය අරවා මේවා දාගෙන එක එක සොෆ්ටවෙයා කෑලි ට්‍රේස් කර ගෙන සෑහෙන්න මහන්සි වෙලා හොයනවා ඇනෝ දාපු එකා මොකාද කියලා. ඒ අයට හොදනං අපිට මොකද නෙහ්.

අනේ ඉතිං මම ඔය කිසිම දෙයක් නොදන්න මනුස්සයා වෙච්චි, මගේ එකේ ඇනෝ කමෙන්ට් දාන පිංවතුන් කව්ද, කොහෙන්ද එන්නේ කියල හොයාගන්නවත් මං දන්නෑ. අයිපී ට්‍රැකර් ඒවා මේවා මගේ පාවිච්චියකුත් නැති නිසා සමහර පිංවත්තු නං ඇවිත් බැණලත් යනවා. මට බැන්නට කමක් නෑ. අනිත් අයට බැනල වගේ මට හිතෙනවා නං මං ඒවා මකල දානවා. එන්නෙත් ටික දෙනයි. ඒ එන ටික දෙනාගේ සුමුදු හිත් රිදෙව්වම ආයි ඒවිය මගේ බ්ලොග් එක පැත්තේ. අන්න ඒ උදාර සිතුවිල්ල නිසා මං ඒ වගේ කමෙන්ට් නං මකල දානවා. නැතිනං එව්ව මකන්න යන්න තරං මට උවමනාවක් නෑ. අනිත් කාරණේ තමා බ්ලොග් එකක මොන මානසිකත්වයක් යටතේ උණත් කමෙන්ට් කරන හැම කෙනාම මිනිසුන් විදියටයි මම සලකන්නේ. ඉකොනොමැට්ටා කිව්ව විදියට තාම සිංහලෙන් කමෙන්ට් දාන බොට්ල ඇවිල්ල නැතිව ඇතෙයි කියල සාධාරණ සැකයක් මට තියෙන නිසා මගේ බ්ලොගයට වැටෙන සියලු කමෙන්ටු මිනිස් අත් දෙකකින් යොදපු (අළුත් විදියට නං මිිනිස් කටකින්) කුඩා හෝ මහන්සියක් ගෙන යොදපු කමෙන්ටුවක් බවට මම සලකනවා. ඒ හේතුව මත බ්ලොගයට වැටෙන හැම කමෙන්ටුවකට ගෞරවයක් මගේ හිතේ තියෙනවා. ඒක නිසා ප්‍රමාද උණත් සියලු කමෙන්ටු වලට උත්තර දෙන්නත් මං වගකීමකින් කටයුතු කරනවා. කමෙන්ටු ලැබුණා කියා නොදැන බොහෝ කල් ගත වී දැක්ක කමෙන්ටු වලට උත්තර දෙනවා අඩුයි උණත් සෑම කෙනෙක්ම යොමු කරන කමෙන්ටුවක වටිනාකමක් තියෙන නිසා ඒ වටිනාකමට මගේ ගෞරවයත් ලබා දෙනවා. 

ඒ මොනව උණත් වෙන කෙනෙකුගේ ගෞරවය නැති කරන කමෙන්ටුවක් අපහසුවෙන් උණත් එක පාරින්ම ආයි කොනක්වත් හොයාගන්නම බැරි වෙන්න මකල දාන එක මගේ සිරිතක්. ඒක නිසා හොද පුතාලා, දුවල, (ඒකත් සැකයි) ඇනෝ කමෙන්ට් දාන කොට අපි ගැන පොඩ්ඩක් හිතල කමෙන්ට් කරන්න. අපිත් මේ බ්ලොග් ලියල මහ ලොකු ගාණක් හොයන්නෑ නේ. ඔයාලත් එහෙමයි කමෙන්ට් දැම්ම කියල මහ ලොකු ගාණක් අතට එන්නතේ නෑනේ. ඒක නිසා අපි සහයෝගයෙන් ෆිට් එකේ ඉමු බබෝ.

පළි - අටෝරාශියක් වූ මගේ ඊමේල් වලට ඊයේ දින පැමිණ තිබූ එකම ඊමේලය දැක මෙම පෝස්කටුව ලියා තැබුවෙමි. කෝකටත් කියා කඩවසමය ෆුල් චාර්ජ් කොට අතේම තියාගෙන සිටිමි.. හැක්

Monday, August 28, 2017

ගල් - බෝතල් ආදරෙන්!! (Shit happens)

අද ලංකාදීප පත්තරේ අපේ ජනාධිපති උන්නැහේ හොද ප්‍රකාශයක් කරල තියෙන ආකාරය මම දැක්කා. උන්නැහේ කෝමත් කතාවට දක්ෂයි වගේම පොදු මෝඩකමට එරෙහි ප්‍රකාශ නිකුත් කරන ආකාරයත් මේ කාලය තුල මම දැකල තියේ.

2017.08.28 දින ලංකාදීප

අපි හිතනවා අවුරුදු දෙදාස් පන්සීයක් එහෙම නැත්නං ඊටත් කලින් ඉදල අපිට උරුම වෙලා තිබුන ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ගැන. හැබැයි කිව්වත් වගේ කටින් බතල කොළ හිටවන ඒ අන්දකයිප්පු කතා වල දැන්නං කිසිම තේරුමක් නෑ කියල තේරුං ගන්න අල්පයක් පමණක ප්‍රමාණයක් ලංකාවේ ජීවත් උනාට බහුතරයක් තාමත් රාවණාගේ, එහෙම නැත්නං කුවේණිගේ එහෙමත් නැත්නං දුටුගැමුණුගේ රෙද්දේ එල්ලිලා විකාර කතා කියන අය විතරයි. ඇත්ත අපිට බොහෝ කාලයකට පෙර ලෝකේ බහුතරයක් ජාතීන්ට, රාජ්‍යයන්ට නොමැති තරම් දියුණු ලක්ෂණ තිබුන බව අවංකවම කියන්න පුළුවන්.

පරාක්‍රමබාහු/පුලස්ථි සෘෂි පිළිමය

ඒක කියන කොට ගිය සතියේ දිවයින බදාදා අතිරේකයේ ගියපු ලිපියක් ගැනත් මතක් උනා. ඒ ලිපියට පාදක වෙලා තිබුනේ පනාකඩුව තඹ සන්නස සහ පොත්ගුල් විහාර පරිශ්‍රය තුල රදවා ඇති, ගස්ලබු කෑල්ලක් අල්ලන් ඉන්න ගල් පිළිමය ගැන කතාවක්. ඔය පිළිමය කාගේද කියල තාමත් හරියටම නිච්චියක් නැති එකේ මේ මනුස්සයා අලුත් සමීකරණයක් හදල තියෙනවා. ඔය තඹ සන්නස, සිත්තරු බිම් බුදල්නාවන්ට කෘතගුණ සැලකීමට පළවැනි විජයබා රජු විසින් ප්‍රදානය කරන ලද රාජකීය වරප්‍රසාද පිළිබඳවත්, කීර්ති කුමාරයා (පළමු වැනි විජයබා) සතුරන්ගෙන් බේරීමට සැගවී සිටියදී බුදල්නාවන් කරපු උපකාරත් බෝම ලස්සනට ලියා තිබෙන තඹ සන්නසක්. ඉතිං ඔය තඹ සන්නසේම තියෙනවා එකල රාජකීය සංකේතය වන වීයගහ අත දරාගෙන මේ වරප්‍රසාද දුන් බව. වීයගහ දරාගෙන රජකෛනෙක් යම් දෙයක් දුන්නා කියන්නේ අම්මේ මුත්තේ කිව්වත් ඒකනං වෙනස් වෙන්නේ නෑ කියන එකයි. දැං කාලේ ඔය හැම බූරු තිප්පළකම සෙංකෝල කියල එකක් තියෙන්නේ. මොලෝ රහක් නැති උනත් ඕක නැතිව රටක් පාලනය කරන්න බැරිය කියල නේ අපි හිතන්නේ. අන්න ඒ වගේ. ඉතිං මේ ලේඛකයා ඒ ලිපියෙන් ඔප්පු කරන්න හදන්නේ අර පරාක්‍රමබාහු මහ රජ්ජුරුවන්ගේය, එහෙම නැත්නං පුලස්ථි මහත්තයගේය කියන පිළිමය වෙන කාගෙවත් නෙමේය, ඒක මහ විජයබා රජ්ජුරුවන්ගේය කියලයි. ඉතිං ඕකට තියෙන නියම, ටක්කෙටම ගැලපෙන සාක්ෂිය තමා පනාකඩුව තඹ සන්නස. මොකද ඒකේ පැහැදිලිවම කියල තියෙනවා වීයගහ අත දරාගෙන මේ ප්‍රදානයන් සිදු කරපු බව. ඉතිං මේ වෙනකං ලංකාවේ වෙන කොහෙන්වත් වියගහක් දරාගෙන නියෝගයක් කරපු රජ කෙනෙක්ගේ සන්නසක් හමු වෙලා නැති නිසා අර ඉන්නේ වියගහ අතින් දරාගෙන පනාකඩුව තඹ සන්නස මගින් බුදල්නාවන්ට රාජකීය වරප්‍රසාද ප්‍රදානය කරපු අවස්ථාවය, ඒක ඉත්තේරුවටම හරිය කියලයි ඔය ලේඛකයා ඔප්පු කරන්න හදන්නෙ. 

පනාකඩුව තඹ සන්නස

මට නං ඒක ඇහුවම දැං කාලේ මිරැන්ඩෝ ඔබේසේකරලා, නලින් ද සිල්වල කරන විනෝද සමයන් මතක් උනා. හරි අපි කියමු ඕක විජයාබාගේ පිළිමයමයි කියලා. නමුත් මොන විදියෙන්ද ඒක ඔප්පු කරන්නේ, ඒ කියන්නේ දැනට වියගහ දරාගෙන හිිටියාය කියා සඳහන්ව, හමු වෙලා තියෙන එකම තඹ සන්නස, පනාකඩුවේ එක උනාට තව පොළවෙන් ගොඩගත යුතු අතීතය කොපමණද කියා හිතළුවක් තරම් වත් නොහිතන මේ වගේ ලියුම්කරුවන්ගෙයි, රටේ තිබුන ශ්‍රේෂ්ඨ ඉතිහාසය නිසා අපි තාම ශ්‍රේෂ්ඨ ජාතියක් යැයි කියන අයගෙයි, රාවණා ලබන මාසේ නැගිටිනවය කියන අයගෙයි, දෙයියන්ගෙන් එස්එම්එස් ලැබෙන අයගෙයි අතර කිසිම වෙනසක් නැතිය කියල තමා කියන්න තියෙන්නේ.

ඔය මඟුලේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය මට මතක් උනේ ඊයේ කිරිකට් මැච් එකට බෝතල් පත්තර විසික් කරපු පඩත්තර ප්‍රේක්ෂකයින් හා ඒ සම්බන්ධව සංවේදී වී ක්‍රිකට් පිටිය මැද කරකියා ගන්න දෙයක් නැතිව බලාහිටිය සිරි ලංකා ක්‍රිකට් කණ්ඩායමයි දැක්කම.

එකක් කියන්නද, දින්නනයි පරදින්නයි කියල දෙකක් තියාගෙන තමා අපි ක්‍රීඩාව කරන්නේ. ඔය ශ්‍රේෂ්ඨ ජාතියේ ප්‍රේක්ෂකයින් සමාර විට දිනන්නම බලන් ඉන්න ම්ලේච්ඡයන් වෙන්න ඇති. කෝම උනත් ජාතියක් විදියට අපි කවදාවත් මේවා අත් විදල නැතෙය කියල රසල් ආර්නෝල්ඩ් මහත්තයා පිළිකුලින් යුතුව ට්වීටර් පණිවිඩයක් නිකුත් කරල තියෙනවත් දැක්කා. අන්තිමට අපි ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ශ්‍රේෂ්ඨ විදියට නෝන්ඩි උනා ලෝකයක් ඉස්සරහා. විලි ලැජ්ජයි යකුනේ. දිනුම පැරදුමක් භාර ගන්න බැරි නං, කොල්ලන්ගේ මොරාල් කඩල දාන්න උත්තාහ කරන පාපතරයන් කිහිප දෙනෙකුගේ ගුලි නොකා දෙයියනේ කියල ගෙදරට වෙලා ස්වයං වින්දනේ යෙදිල නිදාගන්න එක සිරි ලංකා ක්‍රිකට් වලටත්, කොල්ලන්ටත්, පොදුවේ ශ්‍රේෂ්ඨ ජාතියක් වන ශ්‍රේෂ්ට ලාංකිකයන්ටත් හොඳ බවයි මගේ හැගීම.

Saturday, August 26, 2017

හදිසි මළ ගෙවල්, ගුරු කොට හා අකිල ධනංජය

මේ ඊයේ පෙරේදා, හරියටම කිව්වොත් බ්‍රහස්පතින්දා යන්න උණා මළ ගෙදරක. මට පණිවිඩේ ලැබුණා.

“මචං දේශා.. අන්න බං අපේ ඊඑස් ගේ මළ ගෙයක් වෙලා“

“හප්පට. අර ලසන්තයාද“

“ඔව්වොව්. උගේ තමා“

“ඉතිං යකෝ ඌ මළාද?“

“තොගෙ. කට.. නෑ යකෝ උගේ ළඟම ඥාතියෙක්“

“කව්ද බං. මට උගේ අම්මගේ මළ ගේ දවසේ යන්නත් බැරි උණා. තාත්තා නං නැති වෙලා තියෙන්නේ ඒකා මෙහාට වැඩට එන්නත් කලින්නේ“

“උඹ බයිල නොකිය හිටිං. උඹ එනවද කියහං යන්න. මං පොඩි වෑන් එකක් කතා කරා. මමයි, රසිකයයි යනවා.“

“වැඩක් නෑනේ බං. අම්මගේ අප්පගේ එකට නං අවුලක් නෑ.. හෝව් හෝව්.. පොඩ්ඩක් හිටිං.. ඔය ලසන්තයා හෙණ දුර නේද බං.. අකුරැස්සෙද?“

“ඔව් ඕයි දෙනියායෙ“

“ඒකනේ මට දැන් මතක් උණේ.. යමං යමං. කීයටද යන්නේ“

“වරුවක් දාලා දොළහට පනින්න බැලුවේ. අර චතුරයගේ වාහනේ යන්නේ. ඩීසල් ගාන විතරක් යන්නෙත්“

“යකෝ වරුවක් දාලා ගිහිල්ල හැන්දෑ වෙන්න කලින් එන්නද හදන්නේ“

“නෑ නෑ. ඉස්සෙල්ල එක පිම්මට අදිමු මළ ගෙදරට. ඊට පස්සේ හෙමින් හැරේ එමු“

“කොහේද මළ ගේ තියෙන්නේ“

“බෙරලපනාතර“

“මොකා.. ඒ රත්නපුරේ නේද බං“

“මොන රත්නපුරක්ද බං කොටපොළ.. කොටපොළ“

“ඒ කියන්නේ දෙණියායටත් මෙහා.“

“ඔව්. කොටපොළින් හැරිල ඌරුබොක්ක පාරේ යන්න ඕන ටික දුරක්“

“අප්පට සිරි. ඌරුබොක්ක.. අහල තිබුණට කවදාවත් ගිහින් නෑ මම. යමං යමං. මං එනවා“

“මාත් අරූගේ අම්මගේ මළ ගෙදර නං ගියා. මරු පැත්ත ඕයි. පට්ට සීතලයි රෑට..“

“මරු ඈ. මාත් ආසයි බං ඔහොම තැනක යන්න. හරි උඹ එහෙනං හරියට දොළහයි කාල වෙද්දි අපේ ඔෆිස් එක ගාවට වරෙන්. හෙඩ් ඔෆිස් පැත්තේ මට එන්න බෑ. උං විකාර අහනවා“

“හරි මං එන්නං. තෝ දැන් දන්නවද කාගෙද මළ ගෙදර කියලා“

“නෑනේ“

“ලසන්තයගේ වයිෆ්ගේ නංගිගෙ මහත්තයාගේ තාත්තාගේ මල්ලී“

“චිකේ බං උගේ මස්සිනාගේ බාප්පගේ එකටද ඩෝ මේ අපි යන්නේ“

“ඔව් ඕයි. මං ලසන්තයට කිව්වා අපි එනවා කියලා. ඌ කියනවා “මං වෙනුවෙන් නං උඹල කීයටවත් මළ ගෙදරට සහභාගී වෙන්න ඕන නෑය කියලා“.. හික් හික්“

“මළා ජෝන්.. ටිකක් ඉඳිං මං ඌට කෝල් එකක් දෙන්නං“

දැන් මේ මළ ගෙදර යන එක විස් ලිස්ට් එකේ එක පාරටම ප්‍රයෝරිටි නැගපු වැඩක් ගානට හිතට වැදුණා. ඌරුබොක්ක කියන්නේ හරි ලස්සන පළාතක්. මාවරළ කියන්නෙත් ඒ වගේම හරිම ලස්සන පළාතක් කියල අපේ ඔපීසියේ ඇන්ටිලා කීප දෙනෙක්ම කියනව මං අහගෙන ඉදල තියෙනවා. දෙනියාය හරහා සිංහරාජේ හරේ මහේ දෙතුන් පාරක්ම ගිහින් තිබුණත්, ඔය ඌරුබොක්කට යන පාරට කියල ගහපු එක බෝඩ් එකක් මං කවදාවත් දැකල නෑ. ඒක නිසාම ඌරුබොක්ක කියන නම ආශාව තියෙන බය බිරාන්ත කෙල්ලෙක් ගානටයි මට දැනිල තිබුණේ. දැං එක පාරටම අරයාගේ මෙයාගේ මෙයාගේ මෙයාගේ මළ ගෙයක් උණත් කමක් නෑ. ඌරුබොක්ක පැත්ත නේ.. යන්න ඕන කියල හිතට එක පාරටම ආවා. දැං මේ අදාළද නැත්ද කාරණා හොයාබලන කෙංගෙඩියක් නෙමෙයි නේ. කෝම හරි යන්න ඕන කියල හිතලා මාත් ගත්තා කෝල් එකක් ලසන්තයාට.

“හලෝ ලසන්ත.. උඹලට කරදරයක් වෙලා කියල ආරංචි උණා“

“ආ නෑ මිස්ටර් දේශා. මේ අපේ කිට්ටුව නෑ කෙනෙක්ගේ මළ ගෙයක් වෙලා. මං ඊයේ රෑ ආවේ. කව්ද ඔය පැත්තට ගිනි ගෙඩිය දුන්නේ.“

“ඒක වැඩක් නෑනේ.. දැන් අපි එන්න හදන්නෙ ඔය පැත්තේ“

“පිස්සුද. පිස්සුද.. මිස්ටර් දේශා. කිසිම උවමනාවක් නෑ එහෙ එන්න නං. අනික මං දැන් හැන්දෑවට ගෙදර යන්න ඉන්නේ. මොකද අනිද්දා දරුවෝ එක්ක නුවර එළියේ යන්න ට්‍රිප් එකකුත් දාගත්තා. අනේ එන්න ඕන නෑ“

“එහෙම බෑ යකෝ. අපේ ඔපීසියේ කෙනෙක්ගේ මළ ගෙයක් උණාම අපි ඒවට සහභාගී වෙන්න ඕන. නැත්නං කෝ මනුස්සයො අපේ තියෙන මනුස්සකම්. යුනිටි එක“

“අපරාදේ නේ කාලය. අයියෝ මිස්ටර් දේශා එන්න එපා. අනික හෙට අවසන් කටයුතු වලටවත් මම ඉන්නෑ. මාත් උදේ ඉදල දවල් යනවා“

“එහෙම බෑ බං. අපිට ඕන තරං කාලය තියෙනවා. අපි මේවට වෙලාව හදාගෙන හරි එනවා. එව්වා අපේ යුතුකම්“

“ඔන්න මන් දන්නෑ. සංග්‍රහ අරව මේවා ගැන නං මට වග කියන්න බෑ හරිය“

“මොන සංග්‍රහද බං. උඹ ඉදහං අපි එනවා හතර පහ වෙද්දී හරිනේ එහෙනං. කිට්ටු වෙලා කෝල් එකක් දෙන්නං“

“අනේ මන්ද. මිස්ටර් දේසලට පිස්සු නේ. අපේ වයිෆ්ගේ අම්මා නං දැන් ලෙඩ වෙලා අන්තිමයි. අන්න ඒකට අපි යමු සෙට් වෙලා.. මේකට එන්න ඕන නෑ“

“හරි හරි. ඒකටත් එන්නං. මේකටත් එනවා. උඹ බයිල කියන්න එපා. අපි දැන් එන්න හදන්න්නේ. මං තිබ්බ හෙනං“

මූත් පුදුම පුතයෙක් තමා. අපිට තියෙන අවශ්‍යතාවය මිනිහා දන්න එකක්යැ. එන්න එපාමලු.. නොවැන්දා විතරයි. ඉතිං දැං ට්‍රිප් එක ලැහැස්තියි. වාහනේ ආවා. මායි උපෙයි, රසිකයයි තුන් දෙනා චතුරයගේ ටවුන් ඒස් එකේ නැඟල කුරුල්ලෝ තුන් දෙනා වගේ පියාඹලා ආවා අකුරැස්සට. අකුරැස්සට ආවට එතනිං එහාට යන්න හිත දෙන්නෙම නෑ. මොකද දන්නවද, අකුරැස්සසෙන් එහාට හරි හමන් බාර් එකක් නෑ කියල ගියපාර සිංහරාජේ යන ගමන් මං හොදට දැන ගත්තා. ඒක නිසා අකරැස්සසෙන් නවත්තලා කොළ පාට පෙට්ටියේ තියෙන ගැලරියක් වඩම්මගෙන ඇවිත් සීට් එකක් පල්ලේ වාඩි කරවලා අපි ආයි ගමන පටන් ගත්තා. ඔය අල්ල පනල්ලේ ලසන්තයා කෝල් කරල විස්තර අහනවා. අපි දැන් අකුරැස්ස පැන්නා කිව්ව ගමන් මිනිහා කියනවා.

“ඔය එන අතරේ හම්බුවෙනවා ගැටඹරු දේවාලේ. එතන පාර අයිනේ ටැප් එකක් තියේ. ඒකෙන් වතුර ටිකකුත් බොන්න. මාර කූල් ඒ වතුර“

මාත් හා කියලා දැන් එක හිතින්ම ටැප් එකෙන් වතුර බොන්නත් හිත හදාගෙන එනවා. ඔය ගම් බිම් පහුකරගෙන යන කොට ඕං අහු උණා ගැටඹරුව. ඉතිං බෝම හෙමින් පන්සලේ තාප්පේ දිගේ හොදට පාර දෙපැත්තම බලාකියාගෙන ආවා. ම්හු.. මොන ටැප් එකක් කියල නාමයක් නෑ. එක්කෝ ඒ පැත්තේ ටැප් විකුණනන්නත් නැතිව ඇති. ටැප් එකක් නෑ. කූල් වතුරත් නෑ. ආයි වේගේ වැඩි කරගෙන ආවේ එන ගමන් හරි ටැප් එක හොයාගන්නව කියල හිතාගෙනයි. ආයුබෝවන් කොටපොළ කියන බෝඩ් එක දැක්ක ගමන් ලසන්තයට කෝල් කරල පාර අහගත්තා. ඒ කියන්නේ කොටපොළ ටවුම පහු කරල ටික දුරක් එනකොට දකුණු අත පැත්තට තියෙන ඌරුබොක්ක පාරේ කිලෝමීටර් හතක් විතර එන්නය, බෙරලපනාතර ඉස්කොලේ පහුවෙලා මීටර් පන්සීයක් විතර ආවට පස්සේ සුදු කොඩි දාලා තියේය, පාර අයිනෙමය මළ ගේ තියෙන්නේ කියලා. විස්තරේ අහගෙන දැන් කොටපොළ හන්දිය පහු කරල කියපු දුරට ආසන්න දුරක් ආවම මොන පාරක්ද? අඩු ගානේ ආර්ඩීඒ එකෙන් ගහපු කොළපාට බෝඩ් එකක්. ඒවත් නෑ. ඒක නිසා පාර අයිනේ තිබුණ කඩේකින් අහල හරියටම තැන දැනගත්තා. හරිනේ. පාර තියෙනවා. සුපිරියට කාපට් කරල, සුදු ඉරි ඇදල ලස්සන පාර. ඒත් බේතකට හැරෙන පාරෙවත් නෑ බෝඩ් එකක්. හත් දෙයියනේ, පොඩි හන්දියකින් හැරෙන්න උණත් හැම තැනම ලොකු බෝඩ් දාන මාර්ග සංවර්ධන අයියන්ඩිලට ඒකට බෝඩ් එකක් දාන්න අමතක වෙලා. දෙනියාය පාරෙන් හැරෙන තැනම ලොකු දැන්වීම් පුවරුවක් වගේ එකක් නං තිබුණා. සමාර විට ඒකේ නම ගහල තිබුණද දන්නෙත් නෑ. ඒ උණාට දැන්නං ඒ බෝඩ් එක ටියුෂන් මාස්ටර්ලගේ. අපරාදේ කියන්න බෑ. මහින්ද මහත්තයට පිං සිද්ධ වෙන්න පාර නියමයි. පාරෙ ්ලගකදි නාය ගියපු විත්ති පේන්න තිබුණ නිසා මං හිතුවේ ඒවා පහු ගිය කාලේ ගංවතුර බලපෑමක් වෙන්න ඇති කියලයි. ඒක හරියට දන්නෑ.

මේක තමා ඌරුබොක්ක පාර. (බෙරලපනාතර කිස්ටුව)

හෙමින් හෙමින් මළ ගෙදරට ආවා. පොඩි කන්දක් උඩ පාර ආසන්නයේ මං මළ ගෙදර තිබුණේ. මළ ගෙදරට ගොඩ වෙලා ලශ්නතයා බැලුවා. නෑ. අපි දන්න කියන පොල්පිත්තක් වත් මළ ගෙදර පළාතෙවත් ඉන්න එකක් යැ. ඔහේ බකන්නිලාගෙන විනාඩි පහක් විතර ඉන්න කොට මෙන්න මේකා ආවා හති හලාගෙන.

“හා. ඉක්මනට ඇවිල්ල නේ. හොයාගන්න අමාරු උණේ නෑනේ“

“අපොයි නෑ. මොකද බං අර පාරට හැරෙන තැන බෝඩ් එකක් වත් ගහල නැත්තේ“

“මං කොහොමෙයි දන්නේ. මාත් මේ මාස ගානකින් මේ පැත්තේ ආවේ“

“ඒක නෙමෙයි. මොකක්ද අර උඹ කිව්ව ටැප් එක. අපිට ඒක හොයාගන්න බැරි උණා නේ“

“ගැටඹරු ටැප් එකද“

“ඔව්..“

“ඒක තියෙන්නේ පන්සල ඇතුළේ.. ඔහේල පන්සලට ගියානං ඒ ටැප් එකෙන් වතුර ටිකක් බොන්න තිබුණා.. හික් හික්“

“තොගේ ආච්චට රයිස් ගරන්න.. හැක් හැක්“

මූ අපිට ටැප් ලණුවක් දීලා. මළ ගෙදර ඔක්කෝම හොදයි. ලස්සන ආරුක්කු මැලේසියන් හට් දෙකක් ගහලා. ඒකට දාපු රෙදි සුදු පාටින් දිලිසෙනවා. ඉන්ඩ්‍රස්ට්‍රිියල් සීඑෆ්එල් බල්බ් දෙක ගානේ එක ටෙන්ට් එකේ. හරියට ධවල මන්දිරේ වගේ. ඒ මදිවට ගේ වටේටම දඩාර් සයිස් එල්ඊඩී ෆල්ඩ් ලයිට්. මෙව්ව කොහෙන්ද මෙහාට කියල හිත හිත ඉන්කොට ටික වෙලාවක් ගිහිල්ල තමා මීටර් උණේ.. ලසන්තයා ඊඑස් කියලා. ඒ කිව්වේ ඉලෙක්ට්‍රිකල් සුපර්වයිසර්. හැක් හැක්. මළ ගෙදරට උඩින් පයිනස් වගා කරපු රක්ෂිතයක්. දෙපැත්තෙන් කුඩා තේවතු දෙකක්. මං කිව්වේ පොඩි කඳු ගැටයක් උඩ නේ ගේ තියෙන්නේ. පාර අයිනටම වෙන්න දෙපැත්තෙම යසට පීදෙන ගොයම. ඒ එක්කම කළු පීත්ත පටියක මැද්දෑවෙන් සුදු නූලෙන් තනි අත් මැහුමක් දාල වගේ කාපට් පාර. හරිම අගෙයි. ඒ එක්කම පොඩි සීතල ගතියකුත් ඇඟට දැනුණා. ඒ වෙද්දි මං හිතන්නේ හවස පහාමාර විතර ඇති. ඇත්තටම ඔක්කෝම හොඳයි. ඒ උණාට මොකක් හරි අඩුවක් තියේ. ඇත්ත නේ කිසිම සංග්‍රහයක් නෑ. හුළං වැදිච්චි නයිස් බිස්කට් එකයි එපා කරපු නෙස්කැෆේ එකයි. මේ හද්ද දහජරාව ඈත ගම් වලටත් රිංගල තියෙන විධිය දැක්කම පුදුම තරහක් තමා ආවේ. කිව්වත් වගේ දැං ඉතිං ඔව්ව ගැන හිතල වැඩක් නෑනේ. සංග්‍රහ වලට වග කියන්නෑ කියලම නේ එන්න කිව්වේ. ඉතිං හිත හදාගෙන හයට විතර මළ ගෙදරින් එළියට ආවා. 

“දැන් ඕගොල්ලෝ ඔහොමම ගෙදර යන්නද“

‘නැතුව බං. රෑ කෑම හදාගෙන පවුල බලාගෙන ඇති. පව් බං කොල්ලෝ දෙන්නත් මං එනකං නිදාගන්නෑ නේ. ඒක නිසා ඉක්මනට යන්න ඕන“

“අනේ බං ලසා. උඹ මේ දේශා කියන ඒවත් විශ්වාස කරනව නේ. ඔන්න මං කිව්වයි කියල හිතාගනිං. හෙට උදේ හතර විතර වෙද්දිවත් ගෙදර ගියොත් ලොකු දෙයක්“

“හරි බලමුකෝ“

සියලු ආචාර සමාචාර නිම කරල අපි ආවා. කොටපොළින් දාපු වෙලාවේ ඉදලම පාර දෙපැත්ත බල බල ආවේ රෙස්ටෝරන්ට් එකක්. මොන.. එකක් වත් නෑ. මඟදිම ඒ වැඩේ අතෑරියා. අකුරැස්සට ඇවිල්ලම එකක් හොයාගමු කියලා. ඉතිං අකුරැස්ස බෝඩ් එක දැක්ක තැන ඉදලම වාහනේ ශ්ලෝ කරගෙන හෙව්වා එකක්. ඒත් නෑ දැන්නං බයයි බෝතලේ ගෙදර ගෙනියන්න වෙයිද කියලා. ටිකක් දුර ආවම හම්බුනා අපේ සොඳුරු සිත ටීචර්ලයි ගෙවල් වලට හැරෙන හන්දිය. එතැන පොලිස් මහත්තයෙක් හිටියා හිටගෙන. අපි ඒ හරියට එනකොට ඕන නං රෑ හතහමාර විතර ඇති මයේ හිතේ. ඕන එකක් කියලා පොලිස් මහත්තයා ගාවටම කිට්ටු කරල හෙමින් ඇහැව්වා අඩියක් ගහන්න රෙස්ටෝරන්ට ්එකක් නැද්ද මේ හරියේ කියලා. මිනිහා ඒ පාර බෝම කාරුණිකව බඩු ගන්නත් එක්කම නං මේ පැත්තට යන්නය. බඩු තියේනං මේ පැත්තට යන්නය කියලා පාර පෙන්නුවා. එ් පාර දිගේ ගිහිල්ල හොටෙල් පබසරා කියල එකක් හොයාගෙන වාහනේ ගාල් කරල වැඩේට එන්ටර් උණා. අම්මප මේ දකුණේ උන්ට නං පිස්සු. දවල්ට මඟුල් තියන රිසේප්සන් හෝල් එකේ රෑට බොන්න දෙනවා. හයියෝ අපිට ඔව්ව පුරුදු එකක්යැ. දෙපාරක් අහල තමා ඒකට ඇතුල් උණේ. යනකොට ටීවී එකේ මැච් එකත් දාලා. ඉන්දියාව නෝවිකට් ලකුණු අසූවක්ද කොහේද? ඕක බලන්න බැරි නිසා හෝල් එකේ ඈතටම තිබ්බ මේසයක් තෝරගෙන පටන් ගත්තා වැඩේ. එක විකට් එකක් ගියා. දෙකක් ගියා. මෙන්න වදේ තුනක් එක ඕවර් එකට. ක්‍රිකට් තිත්ත වෙලාය කිව්ව සේරමල්ලා දැං බොන එක පැත්තක තියල ටීවී එක ගාව නිසා වේටර් මලයා අපේ මේසේ ටීවී එක කිට්ටුවට ඇදල දුන්නා. හතරයි පහයි හයයි.. ටික වෙලාවක් ගිහිලලා හතායි. හුටා. ඒක බෝතලයයි නේ ගෙනාවේ. දැන් ඉතිං මොකද කරන්නේ. විකට් හතක් ගිහිල්ල ටික වෙලාවක් යද්දි ඒක ඉවරයි. තව බොන්න ඕන. ඒ පාර රසිකයගේ යාළුවෙක් ඉන්නවා ඉන්ජෙක් මාතර. ඌට කෝල් එකක් අරගත්තම ඒ යකත් වෙරිමරගාතමෙ අපිට එන්නය කියල කිව්වා.

මැච් එක දිනයි කියල බලාපොරොත්තුවෙන් අපි මාතර එන්න පිටත් උණා. වෙහෙරහේන පැත්තේ. ඒ යාලුවගේ ගෙදර යනකොට ගුරු කොටයක් අපි එනකම් බිම ලැග ගෙන ඉන්නවා. ඒ පාර ඒකත් ගහල සිංහාවලෝකන කර කර ඉදල මැච් එක බලන කොට... ඒක පරාද වෙලා නෙව. දැන් මොකද කරන්නේ. හිතටත් දුකයි. ගුරු කොටෙත් ඉවරයි. ඉතිං හිවල්ලු ටික වගේ වාහනේට නැඟල යන්තං උදේ දෙකහමාර විතර වෙද්දි ගෙදරට ආවා. මං තීරණය කරා ආයි දුර මළ ගෙවල් වල යන්නෙත් නෑ. මැච් බලන්නෙත් නෑය කියල එක. විකාරයක් නේ.. දවසම ඉවරයි..



චියර්ස්.. හැක්

Thursday, August 24, 2017

Son Doong Cave (අංක එකේ ගල් ගුහාව)

මේ ලෝකේ තියෙන ලොකුම ගුහාව මොකක්ද? අපේ වාසිත කොලුවගෙන් ඇහුවනං කියාවි ඒ මොකක්ද කියලා. 

ගුහාවක් කිව්වම මට නං මතක් වෙන්නෙම අපේ ගෙවල් පැත්තේ කන්දේ උඩම තියෙන ගල් දෙබොක්කාව. පොඩි කාලේ පන්දමකුත් පත්තු කරගෙන, දෙකට නැමිලා තාරාවෙක් වගේ, ඔලුව පාත් කරගෙන ඒකේ අඩි තිහ හතළිහක් ඇතුලට ගියපු හැටිත්, ඊට වඩා යන්න බැරිව බය බිරාන්ත වෙලා ආපහු හැරිල ආපු හැටිත් තමා. ඊට පස්සේ චාරිකා වලදි නං ටිකක් ලොකු ගුහා වලට ගියා. කටාරං කොටපු ගල් ලෙන්, බලංගොඩ එහේ මෙහේ. එව්ව ඉතිං වැඩිම උනොත් අඩි විස්සක් තිහක් උස ඇති. යන්නය කියල ඒ හැටි අමාරුවක් තියෙන එකක්යැ.

ලෝකයේ ලොකුම ගුහාව කිව්වම... ඒක ටිකක් පුදුම හිතෙන විදියට තියෙන්න ඕන නේ. අඩි පනහක් විතර උස, අඩි තිහක් විතර පළල, මීටර් දෙතුන් සීයක් දිගට. හුහ්.

පිස්සු කියවනවා නෙමෙයි. ඕන්න බලාගන්න ලෝකයේ ලොකුම ගුහාවේ දළ මිනුම්.

ගුහාවේ දිග = කිලෝමීටර් 5
ගුහාවේ උපරිම උස = මීටර් 200
ගුහාවේ උපරිම පළල = මීටර් 150

ඒ විතරක්යැ. මේ ගුහාවටම කියල තමන්ගේම ගංඟා, කැලෑ හෙමත් තියෙනවා.



යූ ටියුබ් එකේ තියෙන ගුහාවේ ත්‍රිමාන සැකැස්මක් පල්ලෙහා තියෙනවා.



හරි හරි. දැං සේරම කියාගෙන ගියාට කින්ද මන්ද මුකුත් කිව්වේ නෑනේ. ඩූන් හි (Doong) කන්දේ ගුහාව, එහෙම නැත්නං Cave of the Mountain River එහෙමත් නැත්නං හැන් සොන් ඩූන්ග් කඳුකර ගුහාව (Hang Son Doong Cave) විදියටයි මේක හඳුන්වන්නේ. මේ ගුහාව පිහිටල තියෙන්නේ ලාඕස - වියට්නාම දේශ සීමාව ආසන්නයේ පිහිටි Phong Nha - Ke Bang ජාතික වනෝද්‍යානය තුලයි. කොහොම උනත් ගුහාව අයිති වෙන්නෙ වියට්නාමයට. 






අවුරුදු බිලියන දෙකහමාරක් විතර වයසක මේ ගුහාව හොයාගෙන තියෙන්නේ 1991 දී. මොන විකාරයක්ද ඒ කතාව. ඔව්. අවුරුදු බිලියන ගානක් ඕක තියෙන්න ඇති. ඒ කාලේ ජීවත්ව හිටිය නියන්ඩනාල්ල, ඊටත් කලින් හෝමෝ ඉරෙක්ටස්ලා වගේ අපේ නෑයෝ උනත් මේ ගුහාව ගැන දැනගෙන ඉන්න ඇති. නමුත් නූතන මානවයා ගේ කාලයේදී මේ ගුහාව අහම්බෙන් වගේ වියට්නාම ගොවියෙකු විසින් ගුහා පිවිසුම සොයාගත්තයාය කියලයි සඳහන් කරල තියෙන්නේ හැම තැනම. ඒ හොයාගත්ත මනුස්සයා පස්සේ ගුහාව බලන්න යන අයගේ උපදේශකයෙක් විදියටත් කටයුතු කරා කියල කියන්න පුලුවන් විදියේ පින්තූර ඕන තරං අන්තර් ජාලේ තියෙනවා. 1969 වර්ෂයේදී උපන් මේ පුද්ගලයාගේ නම හූ කාන්ග් (Hồ Khanh). දවසක් ඔය කැලේ අස්සේ පාර වැරදිලා ඉන්න වෙලාවක තමා, සිව්රුහන් නාදයක් වැනි සුළගේ සද්දයක් නිසා ආපු කුතුහලය නිසාවෙන් ගුහාව දැකගත්තය කියන්නෙ. ඒ උනත් 2009 දී බ්‍රිතාන්‍ය ජාතික ගුහා ගවේෂණය කරන්නන් කණ්ඩායමක් පැමිණ ඔහුගෙන් උදව් ඉල්ලා සිටින තාක් ඔහුටත් නැවත ඒ ගුහාව හොයාගන්න ලැබිල නෑ. මොකද මේ ගුහාව ඝණ කෑලෑවෙන් වැහිලා, කඳු අස්සේ හැංගිලා තියෙන නිසා ගූගල් අර්ත් දෙයිය කැඳවලාවත් හොයාගන්න බැරි තැනක් නිසා. එතකොට නියම විදියට නම්, කාන්ග් මහත්තයගේ උදව් ඇතිව අර කට්ටිය 2009 අවුරුද්දෙදි තමා පළමු වරට මේ ගුහාව නිශ්චිතවම අනාවරණය කර ගෙන තියෙන්නේ. හැබැයි සමහර තැන් වල සඳහන් වෙනවා අර කට්ටිය ආවේ 2006 දී කියලා. නිල වෙබ් පිටුව අනුව එම වර්ෂය 2009 ලෙස සැලකීම කරන්න පුළුවන්. 

ඔය කාන්ග් මහත්තයා පස්සේ පස්සේ ටික ටික දියුණූ වෙලා දැං නං ඒ කිස්ටුව ලස්සන නවාතැන්පළක් කරගෙන ඉන්නවා. ඔය අයත් ගුහාව බලන්න යනව නං මෙතන නවතින්න බුක් කරගන්න.  හෝව්.. 2017 අවුරුද්දට තියෙන සේරම සංචාරක බුක් වෙලා ඉවරයිලු.


Hồ Khanh මහත්තයා

කලින් කිව්වත් වගේ මේක අති විශාල ගුහාවක්. ඒ වගේම ලෝකයේ දෙවැනියට විශාලම ගුහා සංකීර්ණය ඇමරිකාවේ පිහිටියත්, තනි ගුහාවක් විදියට ගත්තම ලෝකයේ දෙවැනියට විශාලතම ගුහාව වෙන්න ඕන මැලේසියාවේ පිහිටි Deer Caves තමා.

මුලින්ම මේ ගුහාව ගවේෂනය කරන්න ගියපු අය “බලාගෙන ඩයිනසොර්ලා ඇති“ කියන අවිනිශ්චිත සැකයකින් එය ගවේෂණය කරපු බව සඳහන් කිරීමෙන්ම හිතා ගත හැකි මේ විශාල ගුහාව බාහිර ලෝකයෙන් කොතරම් වෙන්වී හුදකලාව පැවතී ඇත්ද යන බව.

මේක වෙනම ලෝකයක්. කලින් කිව්ව වගේ මේ ගුහාවට අයිති වෙනම ශාක පද්ධති, ජල පද්ධති, ගංඟා, විවිධ පාෂාණ, හුණුගල් තට්ට් හෙම තියෙනවා. ගුහාව ගවේෂණයට යනවා කියන්නෙ ඉතා භාරදූර කාර්යයක්. හරියටම කියනවං පට්ට ඇඩ්වෙන්චර් එකක්. අදාළ පළාත් පාළන ආයතනය විසින් චාරිකා සංවිධානය කිරීම සඳහා අවසර දී අැත්තේ එකම එක සමාගමකට පමණයි. ඒ සමාගම 2017 වර්ෂය සඳහා නිකුත් කරන ලද අටසීයයක් වූ සීමිත සංචාරක ප්‍රවේශ පත්‍ර ප්‍රමාණය 2016 වර්ෂය මැද හරියේදී, එක් දිනක් තුල විකිණී අවසන් වූ බවයි Lonely Planet අඩවියේ සඳහන් වෙන්නේ. මෙම සමාගම ගුහාව ගවේෂණය කිරීම ලෙවල් 6 කින් සිදු කරනු ලබන අතර, ඒකේ දුෂ්කරම මට්ටම එනම් ලෙවල් 6 මට්ටමට යනකොට මෙන්න මේ වගේ දේවල් කරන්න වෙනවා කියලයි කියන්නේ.


  • ගුහාව ගවේෂණය කිරීමට ඉතා සුදුසු ශාරීරික යෝග්‍යතාවයක් තිබිය යුතුය.
  • කිලෝමීටර් 25කට නොඅඩු දුෂ්කර කැලෑ සහ කඳු තරණය
  • මීටර් 400 ක් දක්වා වූ උන්තාංශ වෙනස
  • මීටර් 10-15 දක්වා පළල්, දණහිස දක්වා ගැඹුරු ගංඟා තරණය (40 වතාවක්)
  • බඩගාගෙන, කඹ දාගෙන කිලෝමීටර් හතක් දක්වා ගුහාවේ ඉහලට නැගීම
  • ප්‍රභල ජල තරංග ඇති, පොළව යටින් යන ගංඟා තරණය

පේනවා නේ තරම.

භූ විද්‍යාඥයන්ට අනුව මෙම ගුහාව ඇති වීමට හේතුව ලෙස සලකන්නේ වසර මිලියන පහක තරම් ඈත කාලයේදි තිබු ගංඟාවක් විශාල හුණුගත් තට්ටුවක් හරහා ගමන් කිරීමේදී, පොළවේ අස්ථාවර ස්ථානයකින් ගිලා බැසීම නිසා මෙම ගුහාව නිර්මාණය වූ බවයි. කාලයත් සමඟ ගුහාවේ ඉහල කඩා වැටීම්, පාෂාණ තට්ටු තැන්පත් වීම් හේතුවෙන් නිර්මාණය වූ මෙම ගුහාවේ එල්ලෙන හුණූ කඳු (stalactite pillars), සුර්යාලෝකය සඳහා නිරාවරණ වූ පෙදෙස්, හුදකලා කඳු, ශාක පද්ධති ආදිය කාලයත් සමඟ ඇති වන්නට ඇතිය යන්නත් සඳහන් කර හැකියි. සාමාන්‍ය වශයෙන් තට්ටු හතළිහක් උස ගොඩ නැගිල්ලක් උනත් කිසිම කරදරයක් නැතිව මේ ගුහාව ඇතුලේ රිංගවල තියන්න පුලුවන්.












අති විශාල ජෛව විවිධත්වයක් ඇති මෙම ගුහාව සොයාගෙන දැනට අවුරුදු කිහිපයක් වන නිසා, සම්පූර්ණයෙන්ම ගවේෂණය අවසන් කර ඇතැයි සිතීම අපහසුයි. එම නිසා තවත් කාලයක් ගත වෙද්දී ගුහාව සම්බන්ධ තවත් තොරතුරු අපට දැනගත හැකි වේවි.

ජෛව විවිධත්වය අනුවත් භූගෝලීය පිහිටීම අනුවත් ඉතා වැදගත් ස්ථානයක් වන මෙම සොන් ඩූන් ගුහාව සම්බන්ධ කෙටි වීඩියෝවකින් කතාව නතර කරමු.